රජය ව්‍යාපාර කළ යුතු ද? යන්න සංවාදාත්මක ප්‍රශ්නයකි.
SriLankan ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් පාඩු ලැබීම හමුවේ ජාතික ආරක්ෂාවට බලපාන කේෂ්ත්‍ර හා පොදු මහජනතාවට අත්‍යවශ්‍ය වන සේවා හැර අනෙකුත් කේෂ්ත්‍රවල රජය තවදුරටත් ව්‍යාපාර කළ යුතු ද? යන මාතෘකාව යළි සංවාදයට පැමිණ තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනුව රාජ්‍ය ව්‍යවාසයන් 52ක් අතුරින් 18ක් පාඩු ලබමින් ඇත.
එවැනි රාජ්‍ය ව්‍යවසායන් මහජනතාවට බරක් වන්නේ, මහජන බදු මුදලින් විශාල ප්‍රමාණයක් මෙවැනි ආයතන නඩත්තු කිරීම සඳහා වෙන් කිරීමට රජයට සිදුවීම හේතුවෙනි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතරින් ප්‍රධාන ව්‍යවසායන් වන්නේ, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ සීමාසහිත ලංකා සීනි සමාගම ඇතුළු ආයතන යි.
ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක් 2024 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 280.7 ක සමස්ත ලාභයක් වාර්තා කර තිබිණි.එහෙත් ඊට සාපේක්ෂව 2025 වසරේ එම කාල සීමාව තුළ අදාළ ව්‍යවසායන් ලබා ඇත්තේ රුපියල් බිලියන 227.8 ක ලාභයක් පමණි.
ලංකා විදුලි බල මණ්ඩලය
2025 ජූනි 30 වන දිනට ලංකා විදුලි බල මණ්ඩලයේ බදු පෙර අලාභය රුපියල් මිලියන -13,162කි.
එහෙත් 2023 වසරේදි රුපියල් මිලියන 57,633ක බදු පෙර ලාභයක් ලබා තිබූ ලංකා විදුලි බල මණ්ඩලය 2024 දී රුපියල් මිලියන 144,394ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති 2025 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි.
2024 වසරේ පළමු මාස හය තුළ වූ රුපියල් බිලියන 119.2ක ලාභයට එරෙහිව 2025 වසරේ පළමු මාස හය තුළ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2ක අලාභයක් වාර්තා කිරීම හරහා රාජ්‍ය ව්‍යවසාය අංශයේ සමස්ත ලාභදායීත්වය සැලකිය යුතු ලෙස සීමා වී ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගම
2025 අප්‍රේල් සිට ජූනි අතර කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බදු පෙර අලාභය රුපියල් මිලියන -12,041 ලෙස දැක්වෙයි.
2025/26 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ සමාගමේ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 5.2 ක් ලෙස වැඩි වී ඇත.
මුදල් අමාත්‍යංශය පවසන්නේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශේෂ පත්‍රය සැලකීමේදී සමාගම තවදුරටත් සැලකිය යුතු මුල්‍ය පීඩනයක් යටතේ කටයුතු කරන බවයි.
2025 වසරේ ජූනි මස අවසානය වන විට, ගුවන් යානා භාවිත හිමිකම් වත්කම්, වෙළෙඳ ලැබිය යුතු දෑ සහ නඩත්තු සංචිත ඇතුළුව ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 191.5 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, රුපියල් බිලියන 628.3 ක සමුච්චිත අලාභ හේතුවෙන් කොටස් හිමියන් සඳහා වන ප්‍රාග්ධනය රුපියල් බිලියන 415.2 ක සෘණ අගයක් බවට පත්වී ඇත. 2025 ජූනි අවසානය වන විට ගුවන් සමාගමේ මුළු වගකීම් රුපියල් බිලියන 606.7 ක් ලෙස වාර්තා වේ.
ණය සේවාකරණ පිරිවැය සහ සීමිත ආදායම් විවිධාංගිකරණය නිසා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලාභදායීත්වය සීමාවීමක් පෙන්නුම් කරන බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2025/2026 වසරේ සිට වසර 5ක කාලයක් සඳහා ව්‍යාපාරික සැලැස්මක් අනුමත කර තිබේ.
මීට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 210 ක් සහ රු. බිලියන 31.4 ක් වටිනා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දීර්ඝකාලීන නොගෙවූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලබා දෙනු ලබන හිමිකම් දායකත්වය හරහා එම ණය සේවාකරණය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
“ආදායම තමා අඩුවෙලා තියෙන්නේ. වියදමත් යම් ප්‍රමාණයකින් අඩුවෙලා තියෙනවා. නමුත් පහුගිය අවුරුද්දේ ආදයම බිලියන 36කින් විතර අඩුවෙලා තියෙනවා.” යැයි වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
“මේක ඇස්තමේන්තු කළොත් දළ වශයෙන් අපි දවසකට කෝටි දෙකක් පාඩු ලබනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේ ජනතාවගේ සල්ලි අපේ බදු මුදල්. එයාර්ලංකා එක තියා ගෙන ඉන්න හැම දවසකම අපේ සල්ලි වලින් කෝටි දෙකක් පම්ප් කරන්න ඕනේ මේ ආයතනය නඩත්තු කරන්න. හැබැයි මේ ආයතනය වහලා තිබ්බා නම් අපි ගිය අවුරුද්දේ බිලියන 7.6ක් හරි ඉතුරු කර ගන්න තිබ්බා.”
එමිරේට්ස් සමාගම යටතේ එයාර් ලංකා සමාගම ලාභ ලැබූ අතර දේශපාලන මැදිහත්වීම යටතේ පසුව එය රජයට පවරා ගැණුනි.
“ආයෙත් අපි පෙන්නුම් කරලා තියෙනවා රාජ්‍යන් ව්‍යාපාර කරන්න අසමත් කියන එක. රජය ව්‍යවසායන් කරන කොට රජයට හිතවත් මිනිස්සු දාලා නේ කරන්නේ. එක්ස්පර්ට් ලා නෙමෙයි.” යැයි මහාචාර්යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබුණේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූගත කරන ලෙසයි.
“යථාර්ථයට අද මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තියෙනවා. රජය තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි”
“ප්ලෙන් එකක් දැකපු නැති මිනිස්සුත් ගන්න සීනි ග්‍රෑම් 100 බදු ගෙවනවා එයාර්ලංකා එකට. ඒක හරි අසාධාරණයි. ඒ නිසා මේවා උපක්‍රමිකව කළමනාකරණය කළ යුතුයි.” “එමිරේට්ස් යටතේ මේක ලාභ ලැබුවා. මේක ලාභ ලබන්න පුළුවන්. වැරැද්ද තියෙන්නේ කළමනාකරණයේ.” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.
සීමා සහිත ලංකා සීනි සමාගම

2025 ජුනි 30 වැනි දිනට සීමා සහිත ලංකා සීනි සමාගමේ බදු පෙර අලාභය රුපියල් මිලියන -2,618කි. 2024 එහි බදු පෙර අලාභය -1,945 දැක්වේ. එහෙත් 2023 වසරේදී මෙම සමාගම ලබා තිබූ ලාභය රුපියල් මිලියන 2,835කි.
මේ අතර, සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අලුතින් සිතීමට සූදානම් බව ජනාධිපතිවරයා 2025 ආර්ථික සමුළුව අමතමින් මීට පෙර පවසා තිබිණි.
2025.06.30 දිනට අලාභ වාර්තා කර ඇති රාජ්‍ය ව්‍යවසායන්
* ලංකා විදුලිබල මණ්ඩලය
* සීමා සහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම
* සීමා සහිත ලංකා සීනි සමාගම
* රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
* සීමාසහිත ලංකා සතොස සමාගම
* සීමා සහිත හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගම
* රාජ්‍යය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
* ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව
* රාජ්‍යය දැව සංස්ථාව
* සීමා සහිත ස්වාධීන රූපවාහිනී ජාලය
* ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
* රාජ්‍යය මුද්‍රණ නීතිගත සංස්ථාව
* ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව
* ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
* ශ්‍රී ලංකා රාජ්‍යය වැවිලි සංස්ථාව
* ජනතා වතු සංවර්ධන මණ්ඩලය
* ශ්‍රී ලංකා කජු සංස්ථාව
* ලංකා ධීවර සංස්ථාව
EPF/ETF හා බදු ගෙවාගත නොහැකි රාජ්‍ය ආයතන 10ක්
රාජ්‍ය ආයතන ගණනාවක් ජනතාවට මහා බරක් වන තැනට පත්ව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
සේවකයින් බඳවා ගැනීමේදී දේශපාලන වාසි තකා ආධාරකරුවන්ට රැකියා ලබා දෙන ස්ථාන ලෙස භාවිත කරමින් නිසි කළමනාකරණයකින් හෝ මුල්‍ය විනයකින් තොරව කටයුතු කිරීම මීට හේතුවී ඇතැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය.
අදාළ ආයතන බැංකුවලට ණය වී සහ සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාර අරමුදල් හා බදු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව එම අයතනවල සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාර අරමුදල්, පාරිතෝෂික දීමනා හා හිඟ බදු නිරවුල් කිරීමට වත්මන් රජයට සිදුව ඇත. ඒ සඳහා අවශ්‍ය වී ඇති මුදල් රුපියල් මිලියන 11,000කි.
අදාළ ව්‍යවස්ථාපිත ගෙවීම් අදියර වශයෙන් ගෙවීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව 2026 වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
එම ආයතන ලැයිස්තුව මෙසේය.
* සි/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම
* ජනතා වතු සංවර්ධන මණ්ඩලය
* ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
* ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
* ලංකා ධීවර සංස්ථාව
* ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
* සි/ස ඇල්කඩුව වැවිලි සමාගම
* ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
* නොර්ත් සී සමාගම
* ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය
ලාභදායීත්වය වැඩි කර ගෙන ඇති රාජ්‍ය ව්‍යවසායන්
මුදල් අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනුව ප්‍රධාන රාජ්‍ය බැංකු තුන සිය ලාභ දායීත්වය රුපියල් බිලියන 65.5 කින් වැඩිකර ගෙන ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, සහ සේවා නියුක්ති භාර අරමුදල් මණ්ඩලය යන ආයතන ද 2024 වසරේ මුල් මාස 6ට සාපේක්ෂව රුපියල් බිලියන 16කට ආසන්න අතිරේක ලාභයක් ලබා ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් ලාභ උපයා තිබේ.
2025 වසරේ ජූනි මාසය අවසන් වන විට, මුළු වත්කම් රුපියල් බිලියන 243 ක් සමඟ ශක්තිමත් ශේෂ පත්‍රයක් පවත්වා ගෙන යාමට ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සමත්ව ඇති අතර එය 2024 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 222.4 ක මුළු වත්කම්වලට සාපේක්ෂව එය සියයට 9.3 ක වැඩිවීමකි.
භාණ්ඩාගාර ඇපකර සහ ආරක්ෂණ ලිපි නිදහස් කිරීම
දිගුකාලීන පාඩු ලැබීම් හා මුල්‍ය අර්බුද හේතුවෙන් එම ව්‍යවසායන්ට මෙම ණය ගෙවීමේ නොහැකියාවක් මතුව ඇත.
ඒ අනුව 2026 දෙසැම්බර් 31වැනිදා දක්වා අක්‍රීය තත්ත්වයට පත්වන මෙම බැඳීම් හදිසි අවශ්‍යතාවයක් සේ සලකා මෙම වසර තුළදී නිරවුල් කිරීමට රජය සැලසුම් කර තිබේ.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් රජය කරන්න යන්නේ කුමක් ද?

රජය විසින් ලබා දිය යුතු අත්‍යාවශ්‍ය සේවා නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්ය කරන විවිධ රාජය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසාංවිධානය කිරීමටත් කටයුතු කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තිබේ.මීට අමතරව, වාණිජ නොවන, පිහිටු වීමේ මුල් අරමුණින් වෙනස්ව ඇති හා වර්තමානයට නොගැලපෙන ආයතන හඳුනා ගෙන ඇති අතර ඒවා වසා දැමීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.







