සෙත් කවියට, වස් කවියට, මන්ත්‍ර ශාස්ත්‍රයට විතරක් නෙවෙයි. නොයෙක් හාස්‍යජනක වැඩවලටත් කුංකුණාවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වෙලා හිටියා. මම මුලින් ලිපියක කීවා වගේ කංකුනාවෙ හාමුදුරුවෝ විවිධ රාජ්‍ය කාලවලට ජනශ්‍රැතිකරුවා අයත් කරනවා වගේ ම, උන් වහන්සේ වැලිවිටි සරණංකර සංඝරාජ හිමියන් ඇසුරේ සිටි බවටත්, මොරතොට ධම්මක්ඛන්ධ හිමි ඇසුරේ සිටි බවටත් එකිනෙක වෙනස් ජනප්‍රවාද තියෙනවා. මේ උන් වහන්සේ මොරතොට හිමි ඇසුරේ සිටිය දී සිදු වූ සිද්ධියක් විදියට ජනප්‍රවාදය සදහන් කරන එකක්.
එක් අවස්ථාව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානමාන පිංකමක් රජ මාලිගාවේ දී බොහො ම උත්කර්ෂවත් ව පැවැත් වුණා. මේ විදියෙ දානමය පිංකම්වලින් පස්සෙ මුදවපු මී කිරි පිළිගන්වන එක සාමාන්‍ය සිරිතක් ව පැවැතුණා. දානය සහ අවුල්පත් වැළැඳූ බොහෝ භික්ෂූන් වහන්සේලා තමන් ගෙ කුස පිරී ඇති නිසා මී කිරි වැළැඳීමෙන් වැළැකී සිටියා. වැළැඳුවත් ඒ ඉතා සුළු වශයෙන්. මේ බව මාලිගාවේ පිරිස දැනගෙන හිටියා. භික්ෂූන් වහන්සේලාට මී කිරි පිළිගන්වන්න ඉතා කුඩා භාජන භාවිත කළේ ඒක යි.
දවසක් මාලිගාවේ මේ විදියට තිබුණු දානයකට කුංකුණාවේ හාමුදුරුවන්ට ආරාධනා ලැබුණා. ජනප්‍රවාදය කියන විදියට නං උන්වහන්සේ මී කිරි වළඳන්න දැඩි අභිරුචියක් තිබුණු කෙනෙක්ලු. ඒ නිසා මාලිගාවේ දානයෙ දි මී කිරි වළඳන්න තියලා තිබුණු කුඩා භාජනය ගැන කුංකුණාවේ හාමුදුරුවෝ ඒ තරම් සතුටු වුණේ නෑ. කොහොමෙන් කොහොම හරි දානමය පිංකම සිදු වුණා. දානය වළඳා අවසන් වුණා වගේ ම භික්ෂුන් වහන්සේලා අවුල්පත් පිළිගෙනත් අවසන් වුණා. ඊට පස්සෙ තම යි කතාව පටන් ගන්නෙ. ඒ දානයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට මී කිරි පිළිගැන්වීමේ අවස්ථාව.
සූදානම් කරලා තිබුණු කුඩා බඳුන්වලින් මී කිරි පිළිගැන්වීම මාලිගාවේ සේවකයො ආරම්භ කළා. මේ විදියට පිළිවෙලින් මී කිරි බෙදමින්, පිළිගන්වමින් කුංකුනාවෙ හාමුදුරුවෝ ඉදිරියටත් සේවකයො ආවා. උන්වහන්සේ ඉදිරිපිට දි මුලින් සූදානම් කරලා තිබුණු කුඩා භාජනයට මී කිරි පිළිගන්වන්න සැරැසෙද්දි ම කුංකුනාවෙ හාමුදුරුවෝ තමන් ගෙ ගාව තිබුණු හුණු කිල්ලොටයක් අරගෙන විවෘත කරලා මාලිගාවෙ සේවකයන්ට දික් කළා.
“ඕවා හුණු කිල්ලොටේට බෙදන්න” කුංකුනාවෙ හාමුදුරුවෝ නො කියා කීවෙ ඒක.
මේ සිද්ධිය බලාගෙන හිටපු අනෙක් භික්ෂූන් වහන්සේලා බොහො ම ආමරුවෙන් හිනාව තද කරගෙන හිටියා. මී කිරි බෙදන කාර්යය කරපු සේවකයො කුංකුනාවෙ හාමුදුරුවන් ගෙ අතේ තිබුණු හුණු කිල්ලෝටය දැකලා මෙහෙම කීවා.
‘හාමුදුරුවනේ, අපි මේ බෙදන්නෙ හුණු නෙවෙයි. මී කිරි’
ඒ වෙලාවෙ කුංකුනාවෙ හාමුදුරුවෝ…
‘ආ. එහෙමද? මං හිතුවෙ චුට්ට චුට්ට බෙදාගෙන ආපු නිසා හුණු කියලා. මී කිරි නම් ටිකක් වැඩියෙන් වළඳන්න බැරියැ’
වචන අමුණමින් තමන් ගාව තිබුණු තරමක විශාල භාජනයක් මී කිරි බෙදන සේවකයින්ට දික් කළා. සේවකයොත් නිහඬ ව උන් වහන්සේ දික් කළ භාජනයට මී කිරි පිළිගැන්වීම සිදු කළා.
මේ සිදුවීම දිහා සිනහවෙමින් මොරතොට ධම්මක්ඛන්ධ මහ නායක හාමුදුරුවෝ බලං හිටියලු. මේ දානයට උන් වහන්සේත් වැඩම කරලා තිබුණා. කුංකුනාවෙ හාමුදුරුවන්ට සරදම් කරන්න කල්පනා කරපු ධම්මක්ඛන්ධ නායක හාමුදුරුවෝ, කුංකුනාවෙ හාමුදුරුවන්ට ඇහෙන්න මෙහෙම කීවලු.
‘කුං’ කෑල්ල නැත්තං ඉතිං ‘කුණා ම’ තමා.
මේ වගේ වාග් ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දෙන්න උපන් හපන්කම් තිබුණු කුංකුණාවේ හාමුදුරුවෝ කිසි ම ගාණක් නැති ව මොරතොට නායක හාමුදුරුවන්ට ඇහෙන්න මෙහෙම කීවලු.
‘මොර’ කෑල්ල නැත්තං ඉතිං උන්වහන්සේත් ‘තොටිය ම’ තමා.
කුංකුණාවේ හාමුදුරුවෝ ගැන මේ වගේ කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. කුංකුනාවෙ හාමුදුරුවෝ සම්බන්ධ තවත් ජනප්‍රවාදයක සඳහන් වෙන විදියට උනම්බුවේ දිසාව ගේ දියණියට වඩිග මන්ත්‍රාචාරියකු විසින් කරපු විනය ආපිට යවා, මන්ත්‍රාචාරියාව ද විනාශ කරන්න කුංකුනාවෙ හාමුදුරුවෝ කටයුතු කරනවා. ඒ උන්වහන්සේ ගෙ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ පැවැති ප්‍රවීණත්වය සඳහන් වෙන කතාවක්. ඒ වගේ ම ‘ලාහට ගෙම්බො එකතු කළා වගේ’ කියන ප්‍රස්තාව පිරුළත් කුංකුණාවේ හාමුදුරුවො මන්ත්‍ර ශක්තියෙන් දමනය කරපු යක්ෂයකු සම්බන්ධ සිද්ධියක් නිසා ඇති වුණු බව ජනශ්‍රැතිය සඳහන් කරනවා.
කුංකුණාවේ හාමුදුරුවන් ගෙ හාස්‍යජනක වැඩ සහ මුඛරි බව ගැන මොරතොට හාමුදුරුවෝ ඒ තරම් සතුටකින් හිටියෙ නැතිලු. උන් වහන්සේත් කුංකුනාවෙ හාමුදුරුවෝත් අතර භේද භින්න ඇති වුණාලු. එහි ප්‍රතිඵලයක් විදියට කුංකුණාවේ හාමුදුරුවෝ අධිපතීත්වය දැරූ විහාර දෙකක් සමකාලීන සංඝනායක හාමුදුරුවෝ නැවැත තමාන්ට පවරා ගත් බවත් සඳහන්.
මහනුවර යුගයේදී වස් කවි කලාව උච්චතම ස්ථානයකට පත් කළේ කුංකුණාවේ සුමංගල හිමියන් ය. උන්වහන්සේගේ කවිවලට ක්ෂණික ප්‍රතිඵල ගෙන දෙන බලවත් ශාපමය ශක්තියක් තිබූ බව ජනප්‍රවාදයේ එයි. හිමියන් අසාධාරණයක් සිදුවූ විට ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම වස් කවි යොදා ගත්හ.
උන්වහන්සේගේ ප්‍රසිද්ධ වස් කවි කීපයක් සහ ඒවා පිටුපස ඇති කතාන්දර මෙන්න:
මීයාට ශාප කිරීම: උපාසිකාවක් පූජා කළ පැදුරක් මීයකු කා දැමූ විට හිමියන් කවියක් කීවේය. එම කවිය අවසන් වනවාත් සමඟම පූසකු පැමිණ මීයා අල්ලා ගත්තේය. මෙහිදී දේවතා බණ්ඩාර සුරිඳුන්ගේ බලය අයැද සිටියේය.
වගා විනාශ කළ සතුන්: පන්සල් වගාව විනාශ කළ ඌරකුට හා පොල් ගස්වල කුරුම්බැට්ටි කෑ මීයකුට එල්ල කළ ශාප ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර, කවි කියා අවසන් වනවාත් සමඟම සතුන් මිය ගොස් සිටි බව පැවසේ.
රජතුමාට අනතුරු ඇඟවීම: රාජාධි රාජසිංහ රජතුමා තහනම් කළ මාර්ගයක වැඩම කිරීම නිසා ප්‍රශ්න කළ විට, හිමියන් කවියක් කීවේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොස් ගසක් හතරට පැළුණේය. මෙය රජතුමාට බලවත් අනතුරු ඇඟවීමක් විය.

ඇබිත්තයාගේ සිදුවීම: තමා මුක්කං වීම විහිළුවට ගත් ඇබිත්තයෙකුට කළ ශාපයෙන් ඔහුගේ බඩ ඉදිමී මරණාසන්න විය. පසුව පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීම මත, හිමියන් නැවත කවියක් කියා ඇබිත්ත කොලුවාගේ ජීවිතය බේරා ගත්තේය.
කුංකුණාවේ හිමියන්, මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ වූ ගැටුම් හේතුවෙන් වස් කවිවලින් පිහිට පැතූ අවස්ථා ද විය. වැල්ලාගල පන්සලෙන් පන්නා දැමීමට තැත් කළ අවස්ථාවේදී, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දුක්ගැනවිල්ලක් ලෙස කවි ඉදිරිපත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රජතුමා උන්වහන්සේට අන්නම්පට්ටුව පන්සල පූජා කළේය.
වස් කවි ශාප කිරීම් සඳහා පමණක් නොව, අසාධාරණයට එරෙහිව හඬ නැඟීමටත්, යුක්තිය ඉටු කර ගැනීමටත් මහනුවර යුගයේදී බලවත් මෙවලමක් ලෙස භාවිත වී ඇති බව මෙම කතාන්දර තුළින් පැහැදිලි වේ.








