BREAKING NEWS
Search

වෙල්යායකින් හමුවූ බිලිඳිය ගැන ඇසෙන සම්පූර්ණ කතාව මෙන්න

11987

කුරුණෑගල, මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ වෙල් යායක අත්හැර දමා ගොස් සිටි අලුත උපන් ගැහැනු දරුවෙකු පසුගිය 17 වන දා සොයා ගැනිණි. සිංහපුරපාර මාර්ගය අසල ගසක් යට දමා ගොස් සිටියදී මෙම බිළිඳිය ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සොයාගෙන තිබේ.

 

ප්‍රදේශවාසීන්ගේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් පළමුව මාවතගම රෝහලට ඇතුළත් කළ බිළිඳිය, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. මේ වන විට එම රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම සිදුවීමත් සමඟ, බිළිඳිය සියතට ගෙන ආරක්ෂා කිරීමට මූලික වූ පුද්ගලයා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ. පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකදී එම ස්ථානයේ සිටි කාන්තාවන් බිළිඳිය ඔසවා ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක, තමන් ඇඳ සිටි ටී ෂර්ටය ගලවා ඉන් දරුවා ආවරණය කර ඔසවා ගැනීමට ඔහු කටයුතු කර තිබිණි.

වෘත්තියෙන් රියදුරෙකු වන ඒ.ඇම්. චන්දන කුමාර ජයවර්ධන නමැති මෙම පුද්ගලයා ඕවත්තාවෙල, වෑ උඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ (18) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, දරුවා අත්හැර ගිය මව සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක බවයි. කිසියම් හේතුවක් මත දරුවා මෙසේ අත්හැර දැමූ මව නැවත ඉදිරිපත් වී බිළිඳියගේ භාරකාරීත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කළහොත්, ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට තම අමාත්‍යංශය සූදානම් බවද ඇය එහිදී අවධාරණය කළාය.

මෙවැනි සිදුවීම් සැලකිල්ලට ගනිමින්, දරුවන් භාරකාරීත්වයට ලබාදෙන කැපකරු මාපිය ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කිරීමට ද සැලසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!