වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත්, එම මුදල ඝාතනයටත් පෙර අත්පිට මුදලින් වෙඩික්කරුට ගෙවා ඇති බවත් පොලිස් විමර්ශන මගින් තහවුරු කරගෙන තිබේ. මෙම ඝාතනය සිදුකළ ප්‍රධාන වෙඩික්කරු ඊයේ (26) දින සවස් භාගයේදී මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වීමත් සමග මෙම සියලු තොරතුරු අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.
“මිදිගම රුවන්” සහ “චූටි” නැමැත්තන්ගේ සමීපතමයෙකු විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව වෙඩික්කරුට ලබා දී ඇති අතර, ඔවුන්ගේ සහචරයෙකු විසින් අදාළ මුදල ඝාතනයට පෙර ගෙවා ඇත.
කැකිරාවේ සිට ඊයේ (26) දින කොළඹට පැමිණ ඇති මෙම වෙඩික්කරු, ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය සොයා පැය ගණනාවක් පිටකොටුව ප්‍රදේශයේ සැරිසරා ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ. පිටකොටුවෙන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීමෙන් පසු ඔහු බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල ද ඒ සොයමින් ගොස් ඇති බව සඳහන්ය. මත්ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිව බලාපොරොත්තු සුන් වූ තත්වයෙන් ඔහු නැවත කොටුවට පැමිණ, හයිලෙවල් පාර ඔස්සේ කොට්ටාව බලා ගමන් කරන බස් රථයකට ගොඩවී ඇත.
වෙඩික්කරුගේ මූලික සැලැස්ම වී ඇත්තේ කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමෙන් මාතර බලා යන බස් රථයකට නැගී දකුණට පලා යාමට වුවද, ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරු විසින් දකුණු පළාතට නොයන ලෙසට ලබාදුන් උපදෙසක් මත එම සැලැස්ම වෙනස් කර තිබේ.
ඒ අනුව ඊයේ (26) දහවල් කොට්ටාවේ සිට මහරගම බලා පැමිණි ඔහු, පැය කිහිපයක් එම ප්‍රදේශයේ රැඳී සිට ඇත. පසුව, ඩුබායි වෙතින් ලැබුණු තවත් උපදෙසකට අනුව, ඝාතනයට පෙර සිට භාවිත කළ දුරකතනය ඉවත් කර නව දුරකතනයක් මිලදී ගැනීම සඳහා ඔහු නාවින්නේ පිහිටි අලෙවිසැලකට ගොස් තිබේ.
අදාළ දුරකතන අලෙවිසැලෙන් සැකකරු යළි පිටතට පැමිණෙන අවස්ථාවේදී, රාජකාරි නිමවා බස් රථයකින් නිවෙස බලා යමින් සිටි බුද්ධි අංශ නිලධාරියෙකු විසින් ඔහුව හඳුනාගෙන ඇත. එම නිලධාරියා වහාම බස් රථයෙන් බැස සැකකරු පසුපස ලුහුබැඳීමත් සමග, වෙඩික්කරු පළා යාමට උත්සාහ කර තිබේ. ඔහු දුරකතන අලෙවිසැලකින් යමක් සොරකම් කර පලා යන්නෙකු බව සිතූ අවට සිටි මහජනතාව ද බුද්ධි අංශ නිලධාරියා සමග එක්ව සැකකරු පසුපස හඹා ගොස් අල්ලාගෙන ඇති බව විමර්ශන මගින් හෙළි වී තිබේ.
මේ අතර, ඝාතනයෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිකරු එකම යතුරුපැදියකින් වැලිගමින් පිටත්ව ගිය ද, අතරමගදී වෙඩික්කරු වෙනත් යතුරුපැදියකට මාරු වූ බවට මීට පෙර සීසීටීවී දර්ශන මගින් අනාවරණය වී තිබිණි. එසේ පැමිණෙන අතරතුර වෙඩික්කරු සිය බිරිඳව ද යතුරුපැදියට නංවාගෙන ඇති බවට නවතම තොරතුරු මගින් හෙළිවී ඇත. ඔවුන් වැල්ලවාය සහ මහියංගනය හරහා කැකිරාව දක්වා ගමන් කර ඇති බවට තහවුරු වී තිබේ. ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය පැදවූ පුද්ගලයා, මහියංගනය ආසන්න ප්‍රදේශයක එම යතුරුපැදිය සඟවා, පසුව තිදෙනාම වෙඩික්කරුගේ යතුරුපැදියේ නැගී කැකිරාවට පැමිණ ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතන කොන්ත්‍රාත්තුව ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 15ක මුදලින් රුපියල් ලක්ෂ 12ක් වෙඩික්කරුගේ බිරිඳ සතුව තිබී පොලිස් විමර්ශන කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූවෙකු බවත්, ඔහු මීට පෙර හමුදා සේවයේ යෙදී ඇති බවට මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැති බවත් වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ සඳහා දකුණු සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කොට්ඨාස කිහිපයක් දායකත්වය ලබා දී තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, අනෙක් සැකකරුවන් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
gossip lanka news







