BREAKING NEWS
Search

රෑට කාලා නිදාගත්තා මොනවා වුනාද දන්නැ… නිවුන් දරු ගැබිනියක් ඇතුලු එකම පවුලේ 6ක් එකම තැන මිහිදන් වෙති… මඩොල්සිම බූටාවත්තේ ශෝකාන්තිය

2890

 

“නොවැම්බර් 26 වැනිදා රාත්‍රී අපේ පවුලේ දහදෙනා කෑම කාලා නින්දට ගියා. මමයි මුණුපුරයි මිණිපිරියයි එක කාමරයක හිටියා. මගේ පුතයි ගැබිනියක් වන පුතාගේ බිරිඳයි වෙන කාමරයක නිදාගත්තා. අනෙක් අය සාලයේ නිදාගත්තා. මට එකවරම ගිඟුරුම් හඬක් ඇසී අවදි වුණා. ඒ සමගම අපි පස් කන්දකට යටවුණා” යැයි මඩල්සිම බූටාවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් තුවාල ලබා දිවි බේරාගත් එම්. චන්ද්‍ර කාන්ති මහත්මිය පැවසුවාය. ඇය දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර පාදයකට බරපතළ හානි සිදුවී තිබේ.

මෙම නාය යෑමෙන් එකම පවුලේ හය දෙනෙකු මිය ගොස් ඇති අතර හතර දෙනකු තුවාල ලබා දිවි බේරාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ හයදෙනා වන, නිවුන් දරු ගැබිනියක් වන එම්. ශිව රංජනී (26), ටී. ඩිල්ෂිකා (19), ටී. පුලින්ද කාන්ති (27) සහ ඇගේ දරුවන් දෙදෙනා වන ආර්. සම්සිකා (10) සහ ආර්. සම්රිඩ් (02) සහ ටී. අම්බ්‍රාරානී යන හයදෙනාය. තුවාල ලබා දිවි බේරාගෙන ඇත්තේ ආර්. ත්‍යාගරාජ් (ගෘහ මූලිකයා), ජේ. ශ්‍රීකාන්ත් (මියගිය ගැබිනියගේ ස්වාමිපුරුෂයා), දිල්රුක්ෂිකා (දියණියක්) සහ ඉහත සිද්ධිය පවසන එම්. චන්ද්‍රකාන්ති යන සිව්දෙනායි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එම්. චන්ද්‍රකාන්ති මහත්මිය,

පස් කන්දට යට වීමෙන් මමයි, මහත්තයයි බොහොම අමාරුවෙන් එළියට ආවා. ඇවිත් කෑ ගැසුවා. එවිට අසල්වාසීන් ඇවිත් පස් කඳුවලට යටවී සිටි අය එළියට ගෙන මැටිගහතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී අපේ පවුලේ හයදෙනකු මිය ගියා. ඥාතීන් ඇතුළු සිව්දෙනකු දිවි බේරා ගත්තා. පාදයට බරපතළ හානි සිදුවූ මම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යැව්වා. මගේ ස්වාමිපුරුෂයාටත් තුවාල සිදුවුණා. වාසනාවට මගේ බාල පුතාලා දෙන්නා හිටියේ කොළඹ. ඒ නිසා ඔවුන් දෙන්නා බේරුණා. අපට අවශ්‍ය උදව් උපකාර ලැබුණා. ආහාරපානත් ලැබෙනවා. නමුත් දරුවන් ඥාතීන් නැතිව ඇති වැඩක් නැහැ. ඉදිරියේදී වන්දි ලැබෙයි. නමුත් මියගිය අයගේ අඩුව පුරවාගන්න බැහැ. මෙවන් විපතක් කිසිවකුටත් නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

මියගිය ගැබිනියගේ ස්වාමිපුරුෂයා වන ජේ. ශ්‍රීකාන්ත මහතා,

එදා රාත්‍රී මමයි බිරිඳයි එක කාමරයක නිදාගත්තා. මගේ බිරිඳට නිවුන් දරුවන් දෙදෙනකු ලැබීමට සිටියා. එදින රාත්‍රියේ කෑම කාලා සතුටින් නින්දට ගියා. නමුත් මොනවා වුණාද කියා මම දන්නේ නැහැ. ගමේ කට්ටිය ඇවිල්ලා තමයි පස් ඉවත් කර අපිව ගොඩගත්තේ. ගැබිනියක් වූ මගේ බිරිඳ මියගියා. අපි දැන් ඉතාමත් අසරණවෙලා. වන්දි වශයෙන් කෝටි ගණනක් ලැබුණත් වැඩක් තියෙනවද මගේ බිරිඳයි, නංගිලා ඇතුළු අනෙක් අය නැතිව.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ නාය නොයන ප්‍රදේශවල නිවාස හදලා සියලු දෙනා පදිංචි කරන ලෙසයි. රජය ගැන අපට විශ්වාසයි.

සියලු මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු මැටිගහතැන්නේදී සිදු කළ අතර මෘත දේහයන් රැගෙන ඒමටවත් අපිට නිවසක් තිබුණේ නැහැ. එම නිසා පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකළා. රාජ්‍ය නිලධාරී අපට උදව් උපකාර කළා. ඉදිරියේදීත් කරන බවට පොරොන්දු වුණා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

source – divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!