BREAKING NEWS
Search

ෆෝන් එක කෝච්චි පීල්ලට තිබ්බා – ඉන්දියාවටත් පනින්න හැදුවා – මිද්දෙණියෙ ගල් ගැන මං දන් නෑ – සම්පත් මනම්පේරි.

824

 

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ චෝදනා මත පොලීසිය විසින් සොයමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා, තමා පරිහරණය කළ ජංගම දුරකතනය වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ තබා විනාශ කර ඇති බවට විමර්ශන මගින් තොරතුරු හෙළිවී තිබේ. පොලීසියට සිය දත්ත හඳුනා ගැනීමට ඇති හැකියාව වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇත.

 

කාලයක් තිස්සේ සැඟවී සිටි සම්පත් මනම්පේරි, වලස්මුල්ල අධිකරණයට භාර වීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝගයක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත යොමු කෙරිණි. එම කාලය තුළ සිදුකළ විමර්ශනවලදී හෙළි වූ කරුණු මාධ්‍යයට අනාවරණය නොවුණි. පසුව, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය විසින් පැය හතරක කාලයක් ප්‍රශ්න කිරීමේදී, විනාශ කරන ලද දුරකතනය පිළිබඳව සහ ගිනි අවි සඟවා තිබූ ස්ථානයක් ගැනද ඔහු තොරතුරු හෙළිකර තිබේ.

 

එම තොරතුරුවලට අනුව, මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ අනියම් බිරියගේ නිවසේ වත්තේ වළ දමා තිබූ ටී-56 ගිනි අවි සඳහා භාවිත කරන රන් ආලේපිත පතොරම් ගැබක්, තවත් ටී-56 පතොරම් 115ක් සහ අත්බෝම්බයක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. විනාශ කළ දුරකතනය වෙනුවට ඔහු භාවිත කළ වෙනත් දුරකතනයක් පොලීසිය සොයාගෙන ඇති අතර, විනාශ කළ දුරකතනයේ අංකය ඔස්සේද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දින හතක රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සනින් යුතු රැඳවුම් නියෝගය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,

එම ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමිවිය.

මේ වන විට කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා සිටින මනම්පේරි, ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මිද්දෙණියෙන් සොයාගත් කන්ටේනර් දෙකෙහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව තමා නොදැන සිටි බවයි. විදේශගතව සිටි ‘බැකෝ සමන්’ නමැත්තා තමාට වට්ස්ඇප් ඇමතුමක් ලබා දෙමින් වරායෙන් නිදහස් කරගත් “ගල් වර්ගයක්” සහිත කන්ටේනර් දෙක භාරගෙන මිද්දෙණියට ගෙන යන ලෙස ඉල්ලා සිටි බව ඔහු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කර ඇති ඔහු, රවිරාජ් ඝාතනයට හසුවන්නේ යහපාලන රජය සමයේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු ලෙස ක්‍රියා කර ඇති මොහු, ගංජා ජාවාරමටද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.

 

සැඟවී සිටි කාලය තුළ මන්නාරමේ කේරළ ගංජා ජාවාරම්කරුවෙකුගේ උදව්වෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පැන යාමටද ඔහු උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති අතර, ඒ සඳහා විදේශගතව සිටින ‘දරුන්’ නමැත්තාගේ සහාය ලැබී ඇති බවට සැක කෙරේ. ‘බැකෝ සමන්’ සමග සිටි පානදුරේ නිලංගගේ කණ්ඩායමක් විසින් අදාළ රසායනික ද්‍රව්‍ය තොගය නුවරඑළිය, හම්බන්තොට සහ කඳාන වැනි ප්‍රදේශවලට කොටස් වශයෙන් ප්‍රවාහනය කර ඇති බවද සැකකරුගේ ප්‍රකාශ මගින් අනාවරණය වී තිබේ. ඉන්දුනීසියාවේදී ‘කෙහෙල්බද්දර පද්ම’ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට පත්වීමෙන් පසු තමා බියට පත්ව සිය සහෝදරයා වන පියල් මනම්පේරි සමග එක්ව එම රසායනික ද්‍රව්‍ය වළ දැමූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *