Wed. Apr 30th, 2025

” මුස්ලිම් බාලිකාවෙන් ඉවත් වෙලා කල්මුනේ ගියා.. තාත්තට සාධාරණයක් කරන අරමුණින් ඉගෙන ගත්තේ…” එදා අසාධාරණට ලක් වූ ඔහුට අද වටිනා ගෞරවයක් හිමිකර දුන් ඩොක්ට ෂාෆිගේ දුව කී කතාව මෙන්න

තම පියාට සිදුවූ අසාධාරණයට යම් ආකාරයකින් හෝ සාධාරණයක් කිරීමේ අරමුණින් තමා විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට තීරණය කළ බව, මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ මොහොමඩ් ෂාෆි නම් වෛද්‍යවරයාගේ දියණිය වන මොහොමඩ් ෂාෆි ෆාතිමා සෙයිනබ් පවසයි.

ඇය මෙම කරුණු අනාවරණය කළේ තමා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසීමකදීය.

“ඇත්තටම මට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ මගේ මවට සහ පියාට යම් සාධාරණයක් ඉටු කිරීමටයි. එමෙන්ම විද්‍යා අංශය තෝරා ගත්තේම මගේ පියාට සිදුවූ අසාධාරණයට යම් සාධාරණයක් කිරීමේ අරමුණින්. කෙසේ වෙතත්, මෙතරම් උසස් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කළේ නැහැ. සියලු දෙනාගේම ආශිර්වාදය නිසා තමයි මට මෙතරම් ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වුණේ. මට ලැබුණු සුබ පැතුම්වලට නිමක් නැහැ. ඇත්තෙන්ම මා තුළ දැන් තිබෙන්නේ නිහතමානී සතුටක්,”

යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

ෆාතිමා සෙයිනබ් විභාගයට පෙනී සිටියේ පෞද්ගලික අපේක්ෂිකාවක වශයෙනි. ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ නවයක් ලබාගත්තද, රජයේ පාසලකට ඇතුළත්වීමට නොහැකි වීම හේතුවෙන් පෞද්ගලික අපේක්ෂිකාවක ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව තිබේ.

2019 වසරේදී කුරුණෑගලදී ඇයගේ පියා වන වෛද්‍ය සාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම වූ අවස්ථාවේ ඇය නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. එම සිද්ධියත් සමඟ පවුලේ සියලු දෙනාට කොළඹට පැමිණීමට සිදුව තිබේ. කොළඹට පැමිණි පසු ඇයට බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබුණි.

ඉන්පසුව යළිත් වරක් පවුලේ සියලු දෙනාට කල්මුණේ ප්‍රදේශයට යාමට සිදුව ඇත්තේ, ඇයගේ පියාගේ ජීවිතයට තර්ජන එල්ල විය හැකි බවට වූ අනතුරු ඇඟවීම් හේතුවෙනි.

මෙම අභියෝගාත්මක පසුබිම තුළ වුවද, ෆාතිමා සෙයිනබ් තම අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් සිදු කිරීම තුළින් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට සමත්ව තිබේ. ඇයගේ මෙම ජයග්‍රහණය පවුලේ සියලු දෙනාට සතුටක් සහ ආඩම්බරයක් ගෙන දෙන්නක් බව ද වාර්තා වේ.

පියාට සිදුවූ අසාධාරණය යැයි ඇය සඳහන් කළ සිද්ධිය 2019 වසරේ මාධ්‍ය තුළ බහුලව සාකච්ඡාවට භාජනය වූ කරුණක් වූ අතර, එම සිද්ධිය පසුබිම් කරගනිමින් පවුලේ සාමාජිකයන්ට විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදුව තිබේ. එවැනි පසුබිමක් යටතේ වුවද ඉහළ අධ්‍යාපන ප්‍රතිඵල ලබාගැනීමට ඇය දැක්වූ කැපවීම සහ උත්සාහය විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඇයගේ මෙම ජයග්‍රහණය තුළින් තම පවුලට සිදුවූයැයි සැලකෙන අසාධාරණයට යම් ආකාරයක සාධාරණයක් ඉටු කළ හැකි බව ඇය විශ්වාස කරන අතර, වෛද්‍ය පීඨයට ඇතුළත්වීමෙන් පසු තම පියාගේ ආදර්ශයෙන් සමාජයට සේවය කිරීමේ අභිලාෂයෙන් පසුවන බවද ඇය පැවසුවාය.

Gossip Lanka news

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *