දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතාගේ උපදෙස් මත පාකිස්තාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47ක් සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක් රැගත් පාකිස්තාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය පෙරේදා (03) පස්වරුවේ මෙරටට ළඟා විය.
කොළඹ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබූ අතර නියෝජ්‍ය ඇමැති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කූඩාරම් , ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මේ සහනාධාර තොගයට ඇතුළත් වේ. පාකිස්තාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්තානය කටයුතු කර තිබේ.
මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගිතාව සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබාදීම පාකිස්තානය විසින් අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමඟින් යළි අවධාරණය කර ඇත.
උපාලි කරුණාරත්න සහ සුභාෂිණි සේනානායක
Source – Dinamina







