BREAKING NEWS
Search

ස්විට්සර්ලන්තයේ සිට සිවු මසක් රටවල් 16ක සංචාරය කළ ඉන්දික

1213

 

ටී.කේ.මහින්ද – වැලිගම සමූහ

සියවස් ගණනාවක් පුරාවට ආසියාව සහ යුරෝපය අතර සංචාරය කරන සේද මාවතේ බොහෝ සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමි‍ණෙති. වෙළඳාමට සහ නැරඹීමට මෙසේ ඔවුහු මෙරටට එති. තමන්ගේම රථයකින් සිවු මසක් තුළ රටවල් 16ක් ආවරණය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු පසුගිය දිනක ගාල්ලේ දී අපට හමු විය. ඔහු නමින් මිටියමුල්ල ආරච්චිගේ ඉන්දික සම්පත්ය. ඔහුගේ ගම ගාල්ලය. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය.

පාසල් ජීවිතයේ සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගන්නට කාලයක පටන් සැලසුම් කළ ඔහු විවිධ බාධක මැදින් ස්විට්සර්ලන්තයේ සිට ගමන් ආරම්භ කරමින් ඉන්දියාවේ කල්කටාව දක්වාම පැමිණියේ අ‍ෙමරිකාවේ නිෂ්පාදිත ඩබ් රැන්ග්ලර් ජීප් රථයකිනි. අවශ්‍ය වුවහොත් මෙහි නිදාගත හැකි තාවකාලික ආවරණයක්, කුඩා ආහාර සැකසිය හැකි කුස්සියක් මෙන්ම කුඩා වැසිකිළියක්ද, ඉන්ධන ගබඩා කළ හැකි ටැංකි මෙන්ම වතුර ගෙන යා හැකි ටැංකිද මෙහි ඇත්තේය. මේ වන විට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ජීප් රථය ගෙන්වා ගන්නට ඔහුට හැකියාව ලැබී ඇත. එය අපූර්ව ජිප් රථයකි. මෙම සංචාරය එතරම් පහසු කටයුක්තක් නොවුණද, සාර්ථකව මෙය ජය ගන්නට ඔහුට හැකියාව ලැබිණි.

ඉන්දික සමස්ත චාරිකාවේ ගමන්කර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 19,000කි. ඔහු ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියෙකි. වැඩි කාලයක් දිවි ගෙවන්නේ ද ස්විට්සර්ලන්තයේය. ඔහුගේ භාර්යාවත් එම රටේම කෙනෙකි. ඇය නමින් ටොනියාය. ඇයද කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ පවතින අවබෝධය හේතුවෙන් සංචාරයට එක්කර ගැනීමෙන් අභියෝග ගණනාවක් ජය ගන්නට ද හැකියාව ලැබුණේය. මෙවැනි සංචාරයකදී ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ලබා තිබීම සංචාරයට පහසුවක් වූ බවයි ඉන්දික පවසන්නේ. එසේ නොවුණා නම් මේ ආකාරයට රටවලට ඇතුළු වීම පහසු කාරණාවක් නොවන්නට ඉඩ තිබිණි. ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, සර්බියාව, බල්ගේරියාව, තුර්කිය, ජෝර්ජියාව, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කිර්ගිස්තානය, චීනය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, ඉන්දියාව ආදී රටවල සුන්දරත්වය හා භූගෝලීය වටිනාකම් අත්විඳිමින් සාර්ථක සංචාරයක් නිමකරන්නට ඉන්දිකට අවස්ථාව ලැබෙන්නේය.

සිය සංචාරය පිළිබඳ ඉන්දික සම්පත් මෙසේ පැවැසීය.

මේ සඳහා google ඇතුළු ඇප් කිහිපයක්ම මා භාවිත කළා. ඒ වගේම youtube මඟිනුත් එවැනි සංචාර අත්දැකීම් එකතු කරගත්තා. ඒවායින් ඉන්ධන තිබෙන ස්ථාන හා අවදානම් ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මගේ ජීප් රථයේ තිබෙන ඉන්ධනවලට අමතරව ඉන්ධන ලීටර් 80ක් ගබඩා කර තිබුණා. ඇතැම් රටවල ඩීසල්වලට වඩා ගෑස් භාවිත කරන්නේ. එසේම ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිශ්‍ර කරල තිබුණා.

මේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදුන් බව ඉන්දික පැවසුවේ අපේ කතාබහට මුල පුරමිනි. ඔහු මේ සංචාරයේදී මුහුණ දුන් අභියෝග ගණනාවකි. චීනයේ සිට චජිකිස්තානයට පැමිණෙන විට මුර්ගා ගම්මානය හමුවන අතර එය ඉතාම දුෂ්කර ප්‍රදේශයකි. වාසනාවකට මෙන් කිසිදු උපද්‍රවයකින් තොරව මේ දුෂ්කර ප්‍රදේශය පසුකරමින් පැමිණියද ඇෆ්ගනිස්ථානයට ආසන්නයේ තම රථය ගැටලුවකට මුහුණ දුන්නේය. මෙහිදී අතරමංව සිටින අවස්ථාවේ රුසියාවේ සංචාරකයන් පිරිසක් මේ මාර්ගයේ ගමන්ගත් අතර ඔවුන් සමඟ මීළඟ රට කරා යෑම හැර ඉන්දිකට වෙනත් විකල්පයක් නොවීය. ඇෆ්ගනිස්ථානයට පැමිණියේ තම රථය එම ස්ථානයේම තිබියදීය. ජීප් රථයේ ඉන්ජෙක්ටරයකට හානි වී තිබීම මෙහිදී ඉන්දික මුහුණදුන් අභියෝගයකි. මේ වාහනයට සුදුසු ඉන්ජෙක්ටරයක් අසල්වැසි රටකද නොවූ බැවින් යළිත් ඔහුගේ බිරිය ටානියාට ස්විට්සර්ලන්තයට යන්නට සිදු වූවාය. මෙහිදී නැවත එන අවස්ථාවේ ටානියා ගෙන එන ලද ඉන්ජෙක්ටරය තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපළ නිලධාරීන්ගේ භාරයට ගෙන ඉවතට විසිකර ඇත. පසුව බලධාරීන් දැනුවත් කර යළිත් මෙය රැගෙන එන්නට අවස්ථාව ලබා ගැනීමට ටානියාට වෙහෙසක් දරන්නට සිදුවූ අතර එය කොතරම් දුරදිය ගියාද කියතොත් වෙනත් ගුවන් යානයකින් පිටත්වන්නට මෙහි දී ඇයට සිදුවූවාය. තවත් ස්ථාන ගණනාවකදීම මෙවැනි අභියෝගයන්ට මුහුණ දුන්නද ඔහුගේ බිරිය හා එක්ව තම රථය යථා තත්ත්වයට පත්කර ගන්නට ඔහුට හැකියාව ලැබිණි.

මේ සංචාරයේදී ටජිකිස්තානය මනරම් භූ දර්ශන ඇතුළු ස්වාභාවික සුන්දරත්වයෙන් අනූන වූ ප්‍රදේශයකි. ඔහුට මේ සංචාරයේදී හමුවූ සුන්දර ස්ථාන ගැන ද අප සමඟ කීය. කුඩා මධ්‍යම ආසියානු රටක් වන ටජිකිස්තානය, බොහෝ අද්විතීය සතුන්ගේ නිවහනකි. මාර්කෝර්, පිකා, ගොයිටරඩ් ගැසල්, ආර්ගාලි, යූරියල්, මෙන්ස්බියර්ගේ මාමොට් සහ බුකාරා අමුතු සහ නුහුරු නමින්ද හමුවුණු සතුන් මෙහිදී දැකගත හැකියි. එසේම ටජිකිස්තානය එහි රළු කඳු සඳහා ප්‍රසිද්ධය. මෙහි භයානක දුඹුරු වලස්සු, ගොයිටරඩ් බහුලව වාසය කරන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයෙන් ගමන් කිරීමේදී මේ අත්දැකීම විඳින්නට අවස්ථාව ලැබෙනවා. මේ ස්ථානයක වාහනයේ ‍ ගැටලුවක් ආවොත් ‍ විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. භයානක සතුන් නිසා එළියට එන්නට බැහැ. ඒ වගේම දුෂ්කර මාර්ගයක්. මීටර් 6,000 පමණ දුරක් තියෙන්නේ. මේ දුෂ්කර මාර්ගය සාර්ථකව අවසන් කරන්නට ඉන්දික සමත් වූයේය.

මේ සංචාරයේ අසීරුතම මාර්ගයක් බවට පත්වූයේ ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය දේශසීමාවන් කරා ළඟා වීමයි. තවමත් දැඩි ආරක්ෂක රැකවරණ යොදා ඇති කලාපයක් බවට මෙය පත්ව ඇති අතර මින් ගමන් ගැනීමේ දී දැඩි ආරක්ෂක කටයුතු මෙහි තවමත් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. යුද්ධය පවතින කලාපයක මෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇත. කල්වේලා ඇතිව මෙහි ගමන් කිරීමේදී අවසර ගත යුතු වන අතර ‍ ඇෆ්ගනිස්ථාන වැසියන්ට භාණ්ඩ මිල දී ගැනීමට මේ කලාපයට ඇතුළු වීමට සතියේ එක් දිනක් වන සෙනසුරාදා දිනය වෙන්කර තිබේ. මෙය හඳුන්වන්නේ ඇෆ්ගන් මාර්කට් ලෙසයි. එහි භාණ්ඩ මිල දී ගන්නට ඉන්දිකට අවස්ථාව උදා විය.

˝චීනයේ සිට තනියෙන් ගමන් කරන්නට අපට අවස්ථාව ලැබුණෙ නැහැ. මෙවැනි සංචාරය කරනු ලබන Group එකක් හදා ගන්න අපට සිදු වුණා. එහේ දී අප දින 18ක පමණ කාලයක් ගත කළා. මේ කාලයේදී එවැනි සංචාරක සේවාවන් පවත්වාගෙන යන තවත් කණ්ඩායම් 6ක් එකතු කර ගන්නට හැකි වුණා. වාහන 06ක් පුද්ගලයන් 16 දෙනකු මේ සංචාරයට එක්කර ගන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම අපට මඟ පෙන්වන්නකුගේ සේවයත් ගන්නට වුණා. ඩොලර් 6,000ක් මේ සඳහා ඔහුට ගෙවන්නට සිදු වුණා. මෙහිදී කසකස්ථානයේ සිට එංගලන්තය හරහා තමයි ඔවුන් සමඟ සම්බන්ධ වුණේ. එතැන් සිට අප ටිබෙට් හරහා නේපාලය, කත්මණ්ඩු, ඉන්දියාවේ කල්කටාව දක්වා පැමිණියා. අප එන්න හිටියේ පාකිස්තානය හරහායි. නමුත් ඒ කාලයේ මතුවූ යුද ගැටුම් සමඟ අපගේ මාර්ගය වෙනස් කළා. කල්කටාවේ ඉඳල ‍ අපේ වාහනය නැවකට දැම්මා.” ඉන්දික කීය.

මේ සංචාරයේදී දිනකම පැය 12ක් පමණ වාහනය ධාවනය කරන්නට සිදුව ඇත. ඔහුගේ ජීවිතයේ නොමැකෙන සටහනක් බව දැඩි සතුටකින් යුතුව කීය. මෙවැනි අභියෝග ඔහුගේ සාමාන්‍ය ජීවිතයේද බොහෝ හමුවූ බව පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි.

Source – dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!