වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බව කියන පුද්ගලයා මහරගම, නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහුව වීඩියෝ කරමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණය කළේය. වැලිගම සභාපති ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වූ බවත්, ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් නම දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 72ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත.
සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු හෝ බාහිර පාර්ශ්වයක් විසින් ඔහුව ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳව විමර්ශනය කරන බවද වුට්ලර් මහතා අවධාරණය කළේය. අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙවැනි සාක්ෂි ප්‍රසිද්ධියට පත් කිරීම එම නඩුවට මෙන්ම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශ්වයට ද සිදුවන බරපතල අගතියක් ලෙස පොලීසිය සලකන බව ඔහු පෙන්වා දුන්නේය.
ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සමාජගත කිරීමට ප්‍රථම ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීය. අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු නීතිමය ක්‍රියාමාර්ග අධිකරණයක් තුළදී අවසන් විය යුතු අතර, එම ක්‍රියාවලීන් මාධ්‍ය හරහා ඡායාරූපගත කිරීම සහ වීඩියෝ ගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. මෙම තත්ත්වය මත පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යටතේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු තහවුරු කළේය.
එය පහතින්







