BREAKING NEWS
Search

ලෝකයේ කිරුළ දැරූ බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල් මැණිකේ උරුමය ශ්‍රී ලංකාවේද ? ලොවක් මවිත කල ඒ කතාව මෙන්න

2

 

බ්‍රිතාන්‍ය රාජකීය පවුල කියන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගත් පිරිසක් වුවත්, ඔවුන්ගේ වඩාත්ම ප්‍රසිද්ධ සහ වටිනාම ආභරණයේ හදවත ගැහෙන්නේ අපේ පුංචි ශ්‍රී ලංකාවේ බව බොහෝ දෙනා ආඩම්බරයෙන් සිහිපත් කරන කරුණකි. වර්තමානයේ බ්‍රිතාන්‍යයේ අනාගත රැජින වන කේට් මිඩල්ටන් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන, නිල් පැහැයෙන් බබළන ඒ සුප්‍රසිද්ධ මුද්දට ඇත්තේ ඉතාමත් රසවත් සහ හැඟීම්බර ඉතිහාසයකි. මෙහි අතීතය 1981 වසර දක්වා දිව යන්නේ චාල්ස් කුමාරයා සහ ඩයනා කුමරියගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාව සිහිපත් කරමිනි.

වර්ෂ 1981 දී චාල්ස් කුමාරයා විසින් ඩයනා ස්පෙන්සර් මෙනවියට විවාහ යෝජනා කරන විට, සාම්ප්‍රදායික රාජකීය ක්‍රමයෙන් මඳක් බැහැරව තමන් කැමති මුද්දක් තෝරා ගැනීමට ඇයට නිදහස ලබා දී තිබුණි. මේ සඳහා රාජකීය ආභරණ නිර්මාණකරුවන් වන ගරාඩ් (Garrard) සමාගම විසින් ඉතා වටිනා දියමන්ති සහ මැණික් ඔබ්බවන ලද මුදු ඇතුළත් තැටියක් වින්ඩ්සර් මාළිගයට රැගෙන එනු ලැබීය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ අනාගත රැජින ලෙස ඇය විශාල දියමන්තියක් තෝරා ගනු ඇති බවයි. නමුත් ඩයනාගේ දෑස් නතර වූයේ දියමන්ති මත නොව, ඒ මැද තිබූ දීප්තිමත් නිල් පැහැති මැණිකක් මතය. ඒ අන් කිසිවක් නොව කැරට් 12ක් බරැති, දියමන්ති 14කින් වට වූ ශ්‍රී ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ අගනා ‘සිලෝන් බ්ලූ සෆාරි’ (Ceylon Blue Sapphire) හෙවත් නිල් මැණිකයි.

ඩයනා කුමරියගේ මෙම තේරීම මුල් කාලයේදී රාජකීය පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ සහ විචාරකයන්ගේ කසුකුසුවට ලක් වූ සිදුවීමක් විය. ඊට හේතුව වූයේ සාමාන්‍යයෙන් රජ පවුලේ විවාහ ගිවිස ගැනීම් සඳහා භාවිතා කරන්නේ ලොව අන් කිසිවෙකුටත් නොමැති, ඔවුන් වෙනුවෙන්ම පමණක් නිර්මාණය කළ විශේෂිත මුදු වීමයි. නමුත් ඩයනා තෝරාගත් මෙම නිල් මැණික් මුද්ද එකල ගරාඩ් සමාගමේ නාමාවලියේ (Catalog) තිබූ, පවුම් 28,000ක මුදලක් ගෙවා මුදල් ඇති ඕනෑම අයෙකුට මිලදී ගත හැකි මට්ටමේ පොදු මෝස්තරයක් විය. මේ නිසාම සමහරු මෙම මුද්දට “සාමාන්‍ය වැසියන්ගේ මැණික” (The Commoner’s Sapphire) යනුවෙන් සමච්චලයට පවා නමක් පට බැඳ තිබුණි.

කෙසේ වෙතත් ඩයනා කුමරිය මෙම මුද්ද පැළඳීම ආරම්භ කළ දින සිට එයට ලැබුණු වටිනාකම සහ පිළිගැනීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඇයගේ නිල් පැහැති දෑස්වලට මෙම නිල් මැණික ඉතා අපූරුවට ගැලපුණු අතර, ඇය එය කොතරම් ආඩම්බරයෙන් පැළඳ සිටියාද යත්, එය ඉතා ඉක්මනින් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය විවාහ ගිවිස ගැනීමේ මුද්ද බවට පත් විය. එදා ‘සාමාන්‍යයි’ කියා ඇතැම් අය ප්‍රතික්ෂේප කළ මෙම නිර්මාණය, ඩයනාගේ ආකර්ෂණයත් සමඟ මිල කළ නොහැකි රාජකීය උරුමයක් බවට පත් වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. අපේ රටේ පොළවෙන් මතු වූ ඒ මැණික ඩයනා කුමරියගේ සංකේතයක් බවට පත් විය.

කාලය ගෙවී ගොස් ඩයනා කුමරියගේ අභාවයෙන් වසර ගණනාවකට පසු, මෙම මුද්ද නැවතත් ලෝකයේ අවධානය දිනා ගත්තේ විලියම් කුමාරයාගේ විවාහ යෝජනාවත් සමඟය. 2010 වසරේදී විලියම් කුමාරයා තම මවගේ මතකයන් සමඟින් කේට් මිඩල්ටන් මෙනවියට විවාහ යෝජනා කළේ මෙම මුද්දම ඇයගේ ඇඟිල්ලේ පළඳවමිනි. ඔහු පවසා සිටියේ තම ජීවිතයේ මෙම සුවිශේෂී අවස්ථාවට තම ආදරණීය මව සම්බන්ධ කර ගැනීමට තමන්ට තිබූ එකම මාර්ගය එය බවයි. අද වන විට බ්‍රිතාන්‍ය කිරුළේ අනාගත හිමිකාරියගේ ඇඟිල්ලේ බැබළෙන්නේ එදා රත්නපුර පතලකින් හමු වූ, ඩයනාගේ ආදරය දිනාගත් අපේ රටේ ඒ අගනා සම්පතයි. දියමන්ති පරදා ලෝකයේ ආදරණීයම කුමරියගේ හිත දිනාගත් ලංකාවේ නිල් මැණික අදටත් ශ්‍රී ලාංකීය නාමය ලෝක තලයේ බබළවමින් සිටියි.

උපුටාගැනීම – විශ්ව කර්ම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *