BREAKING NEWS
Search

සෙව්වන්දිට පළායාමට වියදම් කරේ මතුගම ශාන් බව හෙළි කෙරේ

886

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස නම් කර සිටින ඉෂාරා සෙව්වන්දිට, මතුගම වැලිපැන්නේ සිට මිද්දෙණිය දක්වා පලා යෑම සඳහා මූල්‍ය පහසුකම් සලසා ඇත්තේ ‘මතුගම ශාන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත දන්වා සිටියේය.

 

මෙම ඝාතන නඩුවට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සැකකාර ඉෂාරා සෙව්වන්දි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මතුගම වැලිපැන්නටත්, එතැන් සිට මාතර, මිද්දෙණිය හරහා යාපනය දක්වාත් පළා ගිය ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වැඩිදුර විමර්ශන වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම පලා යෑම සඳහා රජයේ සේවකයන්, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, පාතාල සාමාජිකයන් මෙන්ම සිවිල් පුරවැසියන්ද ආධාර අනුබල දී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පිරිසක් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, මෑතකදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියන් සිව් දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනය සහ ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දීම යන කරුණු සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් විසි හත් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, රෝහල් සේවිකාවක ලෙස කටයුතු කරන 23 වන සැකකාරිය වන දොන් ප්‍රියංගා නැමැත්තිය, ඉෂාරා සෙව්වන්දිව සිය යතුරුපැදියෙන් ඇයගේ නිවසට රැගෙන ගොස් ආරක්ෂාව සලසා දී ඇති බවය. ඉෂාරා සෙව්වන්දිව එම නිවසට රැගෙන එන අවස්ථාවේදී, පොලිස් කොස්තාපල්වරයකු වන ප්‍රශාන් සමෝද් නැමැති සැකකරුද අදාළ නිවසේ රැඳී සිට ඇති අතර, පොලිස් නිලධාරියකු මෙන්ම රජයේ නිලධාරියකු ද වන ඔහු, සැකකාරිය පිළිබඳ තොරතුරු පොලිසියට ලබා දීමට කටයුතු කර නොමැති බව විමර්ශන නිලධාරියා අධිකරණයට පැවසීය. එම සැකකාර පොලිස් කොස්තාපල්වරයා හිතාමතා තොරතුරු ලබා නොදීම තුළින් ඉෂාරා සෙව්වන්දිට පලා යෑමට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය කීය.

ප්‍රියංගා නමැති සැකකාරියගේ නිවසේ ඉෂාරා සෙව්වන්දි එක් දිනක් පමණක් රැඳී සිට ඇති අතර, ඉන් අනතුරුව ඇය වැලිපැන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන සජිත් දිනූෂ නමැති සැකකරුගේ නිවසේ දින 52ක කාලයක් සැඟවී සිට ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

එලෙස දින 52ක් රැඳී සිටි සැකකාර සෙව්වන්දිව, රේණුකා ශාන්ති සහ ඇයගේ සැමියා වන ආනන්ද උපාලි යන සැකකාර දෙදෙනා විසින් මෝටර් රථයකින් මාතර ප්‍රදේශයටත්, පසුව මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසටත් රැගෙන ගොස් රඳවා තබාගෙන ඇත. අනතුරුව, මිද්දෙණියේ සිටි ඉෂාරා සෙව්වන්දිව, තවත් සැකකාර යුවළක් විසින් මෝටර් රථයකින් මාන්කුලම් ප්‍රදේශයට රැගෙන ගොස්, පසුව කිලිනොච්චියට ගොස් යාපනය හරහා පලා යෑමට කටයුතු සලස්වා දී ඇති බවද විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.

 

 

මෙම නඩුවේ සැකකරුවකු වන ආනන්ද උපාලි, වෙනත් මනුෂ්‍ය ඝාතන නඩුවකට අදාළව මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවත්, ඔහුව ඉදිරි නඩු දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය. තවද, දැනට රඳවාගෙන ප්‍රශ්න කරන, මෙම නඩුවේ 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගෙන් ලබාගත් ප්‍රකාශ අනුව, සැකකරුවකුගේ නිවසක වත්තේ වළ දමා තිබූ ජංගම දුරකථන දෙකක් සොයාගත් බවත්, එම දුරකථන සම්බන්ධව ඉදිරි විමර්ශන සිදුකරමින් පවතින බවත් පොලිසිය කීය.

ඉදිරිපත් වූ කරුණු සහ තවදුරටත් විමර්ශන සිදුවන බැවින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මීට අමතරව, සැකකාර ඉෂාරා සෙව්වන්දිට පැනයෑමට ආධාර අනුබල දීම යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටින සැකකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ වෙන් වෙන් වශයෙන් චෝදනා ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මේ අතර, ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි දමිත් අංජන නයනජිත් නමැති සැකකරු මහාධිකරණය මගින් ඇප මත මුදා හැර ඇති බැවින්, අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කළ පසු එම සැකකරු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහාධිකරණ විනිසුරුවරයා විසින් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර ඇති අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *