BREAKING NEWS
Search

ජීවන් තොණ්ඩමන්- වෛද්‍ය මනාලිය බඳින මගුලට රනිල් යුවළ තමිල්නාඩු යයි – මහින්දත් යනවාලු

107

 

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ජීවන් තොණ්ඩමන් මහතා අතගන්නා මනාලිය වන්නේ ඉන්දියානු ජාතික තරුණියකි. ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ වී.පී. දුරෙයිසාමි මහතාගේ දියණිය වන වෛද්‍ය සීතායි ශ්‍රී නාච්චියාර් මෙනවියයි. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය එළඹෙන ඉරිදා එනම් මෙම මස 23 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් හි පිහිටි ප්‍රධාන උත්සව ශාලාවකදී සහ හින්දු කෝවිලකදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම සුවිශේෂී විවාහ මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් සීමිත දේශපාලනඥයින් පිරිසකට ආරාධනා ලැබී ඇති අතර ඊට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. හිටපු ජනාධිපතිවරයා සහ එම මැතිණිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 121 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ. මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ද ආරාධනා ලැබී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර රාජකරුණා සහ ඩී.වී. චානක වැනි මහත්වරුන් ද දේශපාලන රැලිවලට සහභාගී වීමෙන් අනතුරුව විවාහ උත්සවය සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බව වාර්තා වේ.

ජීවන් තොණ්ඩමන් මහතා ඉන්දියාවේ රැඳී සිටින කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

විවාහ මංගල්‍යය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ද ආරාධනා කර ඇති අතර ඔහු උත්සවයට සහභාගී නොවූවද ජීවන් තොණ්ඩමන් මහතා මුණගැසෙනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරති. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු සහ දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් වයස අවුරුදු 26 දී මෙරට ළාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වෙමින් ඉතිහාසගත වූ චරිතයකි.

ඉන්දියාවේ පැවැත්වෙන විවාහ මංගල උත්සවය සඳහා ලංකාවේ සිටින සියලුම දේශපාලන හිතවතුන්ට සහභාගී වීමට අවස්ථාව නොලැබෙන බැවින් නව යුවළ නැවත ලංකාවට පැමිණීමෙන් පසු විශේෂ සැමරුම් කිහිපයක් සංවිධානය කර තිබේ.

ලබන 28 වනදා මනාලිය සමඟ දිවයිනට පැමිණෙන ජීවන් තොණ්ඩමන් මහතා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී දේශපාලන හිතවතුන් සහ සම්භාවනීයන් වෙනුවෙන් විශේෂ ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට අමතරව මෙම මස 30 වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී පක්ෂ සාමාජිකයින් සහ වතුකරයේ හිතවතුන් වෙනුවෙන් තවත් උත්සවයක් පැවැත්වීමට නියමිතය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *