ගංවතුර සමයේදි අවතැන් වූ තම අසල්වැසි ජනතාවගේ ජීවිත රැසක්ම බේරා ගනිමින් බෝට්ටුවල නැඟී දිවි පරදුවට තබා අතිමහත් සේවාවක් කරන ලද සේදවත්තේ පදිංචිව සිටි තරුණියක් අවාසනාවන්ත ලෙස පෙරේදා (10) මියගොස් ඇත.
කැලණි නදී දිය කිඳුරිය වශයෙන් කිරුළු පැලඳි දක්ෂ පිහිනුම් ශූරියක වන සේදවත්තේ, කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය මෙෙස් මියගොස් ඇත.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය මියයන විට 19 වැනි වියේ පසු වූවාය.
පසුගිය ගංවතුර අවධියේ අවතැන් වූ තම අසල්වාසීන් බේරා ගැනීමටත්, ඔවුනට ආහාර පාන රැගෙන යෑමටත් බෝට්ටුවක නැඟ රෑ දහවල නොබලමින් අතිවිශාල කැප කිරීමක් සිදු කළ බව ප්‍රදේශවාසීහු පවසති.
ඕෂධි පිහිනීමට පුරුදු වූයේ වයස අවුරුදු 3 සිටය. ඒ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේය. ඒ පිහිනුම් උපදේශක කැලුම් ප්‍රියදර්ශන මහතා යටතේය.

ඇය කුඩා කාලයේ කිසි දිනෙක කැලණි ගඟට බැස නොමැත. ඒ කිඹුලන් ඇතැයි සිතා ඇති වූ බිය නිසාය.
ඕෂධි කැලණි ගඟ තරණය කරමින් මීටර 1000ක දුරක් විනාඩි 14යි තත්පර 41ක කාලයක් තුළ පිහිනමින් ගිනස් වාර්තා පොතට එක් වූයේ 7 හැවිරිදි වියේදීය. ඇය වාර්තාව තබනු දැක බලා ගැනීමට එදින ගම්වාසීන් ඇතුළු දහස් ගණනක ජනතාවක් කැලණි ගඟ දෙපස රැස්ව සිට ඇත.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ, කොලොන්නාව – ඒ. සුමනසේන








