BREAKING NEWS
Search

ලූවර් කෞතුකාගාර කොල්ල කරුවන් අල්ලයි ,

320

(විමුක්ති එස් රුද්‍රිගු)

සුප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරයෙන් කොල්ල කෑ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 (රුපියල් කෝටි 3036 ක පමණ) ක් වටිනාකමින් යුත් ආභරණ අතර තිබු මාරි ඇමෙලි බිසවගේ ඔටුන්න දියමන්ති 1083 ක් සහ “සිලෝන් සෆායර්” ලෙසින් හැඳින්වෙන මෙරට නිල් මැණික් 24ක් ඔබ්බවා සැකසූවක් බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පසුගියදා ප්‍රකාශ කළේය.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් පසුගිය 19 වැනිදා කොල්ලකරුවන් සිවු දෙනකු විසින් කොල්ල කනු ලැබුවේය.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී තිබූ බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් කොල්ලය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.

ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ කොල්ලය සාර්ථකව සිදුකර කොල්ලකරුවන් පළගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි විය. කොල්ලයේදී යූජින් කුමරිය පැළඳි ඔටුන්නක් කොල්ලකරුවන් මග දමා ගොස් තිබූ බවද විමර්ශන වලදී වාර්තා විය.

මාරි ඇමෙලි යනු පළවෙනි ලුවී පිලිප් රජුගේ බිරිඳයි. කොල්ලකරුවන් සොරාගත් මෙම ආභරණ සොයා ගැනීමට හැකියාව ලැබුණහොත් ලොව සුප්‍රසිද්ධ මොනාලීසා චිත්‍රයට වඩා මෙම ආභරණ ප්‍රසිද්ධ වනු ඇතැයි දැනටමත් මත පළවී ඇත.

කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට ප්‍රංශ බලධාරීන්ට අද හැකියාව ලැබී තිබූ අතර එක් අයෙක් රටින් පළා යාමට උත්සාහ දරණ අවස්ථාවේ අත් අඩංගුවට ගෙන තිබිණි.

Lankadeepa.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *