හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිත කරන ලද කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස නැවත රජයට පවරා දීමේ ක්‍රියාවලිය, නිවසේ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර හටගෙන ඇති එකඟතාවක් නොවීම හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික භාණ්ඩ එම නිල නිවසින් ඉවත් කර ගන්නා ලෙසයි. එහෙත්, හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ,
ප්‍රථමයෙන් නිල නිවසට අයත් භාණ්ඩ ලැයිස්තුවක් අනුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සිය පෞද්ගලික භාණ්ඩ ඉවත් කර ගන්නා බවය.
රාජ්‍ය දේපළක් වන එම නිල නිවසේ ඇති භාණ්ඩ තමන් රැගෙන ගිය බවට අනාගතයේදී එල්ල විය හැකි චෝදනාවක් වළක්වා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ වෙතත්, රජයේ පාර්ශ්වයෙන් අවධාරණය කරන්නේ හිටපු ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සිය භාණ්ඩ ඉවත් කරගත යුතු බවයි. අදාළ නිල නිවස තුළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික භාණ්ඩවලට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් දේපළ ද පවතින බව සඳහන් වේ.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් භාවිත කරන ලද වාහන පෙළ සහ වෙඩි නොවදින ආරක්ෂිත රථය පසුගියදා (03) නැවත රජයට භාර දුන් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කළේය. ඒ අනුව, මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට නිල වශයෙන් භාවිත කිරීමට වාහන කිසිවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ දීමනා අහෝසි කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතින් අනතුරුව, මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 11 වන දින විජේරාම නිල නිවසින් පිටවී තංගල්ලේ පිහිටි සිය කාල්ටන් නිවස වෙත ගියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තමන් පදිංචිව සිටින කොළඹ, කොබ්බෑකඩුව මාවතේ නිල නිවසින් ඉවත් වීම සඳහා නොවැම්බර් මස මුල් භාගය දක්වා කල් ඉල්ලා ඇති බව වාර්තා වන අතර, ඔහුට අයත්ව තිබූ සියලුම නිල වාහන මේ වන විටත් රජයට භාර දී අවසන්ය. ඒ මහතා ඉදිරියේදී බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක පදිංචියට යාමට නියමිතව ඇත. එමෙන්ම, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත කොළඹ නගරයේම කුලී නිවසක් වෙත මාරු වීමට සූදානමින් සිටින බව ඇයගේ ලේකම්වරයෙකු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිනියගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් සඳහා හිමිව තිබූ විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලු වරප්‍රසාද අහිමි කිරීමට පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව පනත යටතේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳට හිමිව තිබූ විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ද අහෝසි කර තිබේ.







