BREAKING NEWS
Search

සහන වැස්සක් අරන් මාලිමා දෙවැනි අයවැය අද ගෙනේ…

1476

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම අද (07) ප.ව 1.30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

2025 සැප්තැම්බර් 26 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 14 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා ප.ව 6.00ට පැවැත්වේ

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00 ට රැස්වීමටත් නියමිත වී තිබේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළ සෑම දිනකම ස්ථාවර නියෝග 22(1) සිට (6) පරිදි වැඩකටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇත. එසේම මෙම කාල සීමාව තුළ ප.ව 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් නියමිතව තිබේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!