BREAKING NEWS
Search

මුම්බායි දුම්රිය වේදිකාවේදී කාන්තාවකට දරු ප්‍රසූතියට සහය වූ පුද්ගලයෙක් අන්තර්ජාලයේ වීරයෙකු වෙයි

367

මුම්බායි නුවර දුම්රිය වේදිකාවක් මත, මධ්‍යම රාත්‍රියේදී කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා සහය වූ පුද්ගලයෙකුගේ ක්‍රියාව අන්තර්ජාලය තුළ මහත් පැසසුමට ලක්වෙමින් තිබේ. ඔහුගේ ක්‍ෂණික බුද්ධිය සහ ධෛර්යවන්ත ක්‍රියාකලාපය හේතුවෙන් බොහෝ දෙනාගේ හදවත් දිනා ගැනීමට ඔහු සමත්ව ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ රාම් මන්දීර් දුම්රිය ස්ථානයෙන් වන අතර, මධ්‍යම රාත්‍රී 1.00ට පමණ දුම්රියක් තුළදී කාන්තාවකට ප්‍රසව වේදනාව ඇතිවීමත් සමග මෙම තත්ත්වය හටගෙන තිබේ.

 

මෙම සිදුවීම සියැසින් දුටු මංජීත් ඩිලෝන් නම් පුද්ගලයෙකු ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනකට අනුව, දුම්රිය තුළ වේදනාවෙන් පෙළෙන කාන්තාව දුටු මෙම පුද්ගලයා වහාම දුම්රියේ හදිසි දංවැල ඇද එය නවත්වා ඇත.

 

“මේ මනුෂ්‍යයා ඇත්තෙන්ම ඉතා නිර්භීත කෙනෙක්. ඒ අවස්ථාවේදී දරුවාගේ සිරුරෙන් අඩක් මවගේ කුස තුළත්, ඉතිරි අඩ පිටතටත් පැමිණ තිබුණා. දෙවියන් විසින්ම ඔහුව එතැනට එවා ඇති බවක් මට සිතුණා,” යැයි එම සටහනේ සඳහන් විය.

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා, “මම ජීවිතේ පළවෙනි වතාවටයි මෙහෙම දෙයක් කළේ. මට ගොඩක් බය හිතුණා, ඒත් මැඩම් කෙනෙක් වීඩියෝ කෝල් එකෙන් උදව් කළා,” යනුවෙන් පවසන අයුරු වීඩියෝ පටයක සටහන්ව තිබිණි.

ඇසින් දුටු සාක්ෂිකරුගේ සටහනට අනුව, ඔවුන් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට ඇමතුම් ලබා දුන්නද, ගිලන් රථය පැමිණීමට ප්‍රමාද වී ඇත. අවසානයේදී, කාන්තා වෛද්‍යවරියකගේ මගපෙන්වීම මත, වීඩියෝ ඇමතුමක් ඔස්සේ ලබාදුන් උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් මෙම පුද්ගලයා විසින් දරු ප්‍රසූතිය සාර්ථකව සිදු කර තිබේ. ඔහුගේ එම ධෛර්යය වචනයෙන් විස්තර කළ නොහැකි බවද එම සටහනේ වැඩිදුරටත් දැක්විණි.

මීට පෙර මෙම කාන්තාවගේ පවුලේ අය ඇයව ආසන්නයේ පිහිටි රෝහලකට රැගෙන ගියද, ඔවුන්ව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා නැවත දුම්රියෙන් ගමන් කිරීමට ඔවුන්ට සිදුවී තිබේ. “මවක් මෙවැනි තත්ත්වයක සිටියදී රෝහලක් ඇයව ප්‍රතික්ෂේප කිරීම ඇත්තෙන්ම ලැජ්ජා සහගතයි,” යනුවෙන් මංජීත් ඩිලෝන් සිය සටහනේ සඳහන් කර තිබිණි.

එදින රාත්‍රියේ මෙම පුද්ගලයා මවගේ සහ දරුවාගේ ජීවිත දෙකම බේරාගත් බවත්, පසුව සියලු දෙනා එක්ව ඇයව ආරක්ෂිතව රෝහලක් වෙත යැවීමට කටයුතු කළ බවත් ඇසින් දුටු සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමත් සමග අන්තර්ජාල භාවිතා කරන්නන් අදාළ පුද්ගලයාගේ නිර්භීත ක්‍රියාව අගය කරමින් නොයෙකුත් ප්‍රතිචාර දක්වා තිබිණි. එක් පරිශීලකයෙකු “ඇඟේ හිරිගඩු පිපෙනවා! මේ වගේ නිර්භීත මිනිසුන් මේ කාලයේ දැකගන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්,” යනුවෙන් සටහනක් තබා තිබූ අතර, තවත් අයෙකු “නිල ඇඳුමක් නොමැති සැබෑ වීරයෙක්,” ලෙස ඔහුව හඳුන්වා තිබිණි.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)

වීඩියෝව පහතින්

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *