BREAKING NEWS
Search

උපාධිය වලංගු නොවන බවට පැතිරෙන කථාවලට නාමල්ගෙන් පිළිතුරක්

2717

නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි ඔස්සේ මේ දිනවල වේගයෙන් පැතිර යන ආන්දෝලනාත්මක පුවත් වාර්තා හුදු මඩ ප්‍රචාර පමණක් බවත්, එම වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අවධාරණය කර සිටියි.

වත්මන් රජය බලයට පත් වූ වහාම තමාගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළ ද, මාස ගණනාවක් ගතවී ඇතත් එම විමර්ශනවලින් කිසිදු වරදක් හෝ අක්‍රමිකතාවක් අධිකරණයට වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම අසත්‍ය ප්‍රචාරයන් එළඹෙන 21 වනදා නුගේගොඩ පැවැත්වීමට නියමිත රැලිය ඉලක්ක කරගනිමින් සිදුකරන දේශපාලනික කුමන්ත්‍රණයක් බවත්, මෙම සියලු අවලාදවලට එදිනට පැවැත්වෙන රැලියේදී රටටම ඇසෙන සේ පිළිතුරු ලබා දෙන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, නිර්මලා කන්නන්ගර විසින් ‘එක්සැමිනර් එල් කේ’ වෙබ් අඩවිය හරහා සිදු කරන ලද ගවේෂණාත්මක වාර්තාවකට අනුව නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුළත් වීමේදී ඉදිරිපත් කළ සුදුසුකම් සහ සහතිකපත් සම්බන්ධයෙන් බරපතල ගැටළු සහගත තත්වයන් නිරීක්ෂණය වී තිබේ.

එම විමර්ශනයට අනුව නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලය සඳහා අයදුම්පත ඉදිරිපත් කරන මොහොතේදී ඔහු අධ්‍යාපනය ලැබූ බව කියන “City University” ආයතනයේ නීති උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගත් ලැයිස්තුවට ඇතුළත් වී නොතිබූ අතර, එය පිළිගැනීමට ලක්ව ඇත්තේ ඔහු ලියාපදිංචි වී දින 20කට පමණ පසුව බව තොරතුරු දැනගැනීමේ පනත මගින් අනාවරණය වී ඇත.

සාමාන්‍යයෙන් නීති විද්‍යාලයට ඇතුළත් වීමේදී අදාළ උපාධි සහතිකය සහ ලකුණු සටහන් (transcript) යන දෙකම ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවද, රාජපක්ෂ මහතාගේ නීති විද්‍යාල පෞද්ගලික ලිපිගොනුව තුළ කිසිදු උපාධි සහතිකයක් නොමැති බවත්, එහි ඇත්තේ විශ්වවිද්‍යාලයෙන් එවූ ලිපියක් පමණක් බවත් 2025 ඔක්තෝබර් මස නීති විද්‍යාලය විසින් තහවුරු කර තිබේ.

එසේ වුවද, නාමල් රාජපක්ෂ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් සඳහා අයදුම් කිරීමේදී “City University” ආයතනයෙන් ලබාගත් බව කියන තෙවන පන්තියේ සාමාර්ථයක් සහිත නීති උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇති අතර, එම සහතිකයේ ඇති උපකුලපතිවරයාගේ අත්සන සම්බන්ධයෙන්ද බරපතල සැකයක් මතුව ඇත.

මන්ද යත්, අදාළ සහතිකය 2009 සැප්තැම්බර් 15 වන දින නිකුත් කළ බව දැක්වුවද, එහි අත්සන් තබා ඇති මැල්කම් ගිලීස් (Malcolm Gillies) නැමැති උපකුලපතිවරයා ඊට මාස කිහිපයකට පෙර එනම් 2009 ජූලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින්, තමන් ඉවත්ව ගිය පසු නිකුත් වූ සහතික පිළිබඳ වගකීමක් දැරිය නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇති බව එම ගවේෂණාත්මක වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *