BREAKING NEWS
Search

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ Cambridge දේශනය අවලංගුයි..

140

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමට ලැබී තිබූ ආරාධනයට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව සහ ශිෂ්‍ය සංවිධාන දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇත.
මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය මන්ත්‍රීවරයාට ලබා දී තිබූ දේශන අවස්ථාව මේ වන විට අවලංගු කර තිබේ.

පෙබරවාරි 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම දේශන මාලාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබිණි.

එමගින් ඔවුන් අවධාරණය කර සිටියේ නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති මෙම අවස්ථාව වහාම අත්හිටුවිය යුතු බවයි.

රාජපක්ෂ පවුල මෙහෙයවූ යුද සමයේදී සිදුවූ බව කියන සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර, පුද්ගලයන් අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වගකීමෙන් මන්ත්‍රීවරයාට බැහැර විය නොහැකි බව විරෝධතාකරුවන් පවසයි. නාමල් රාජපක්ෂ මහතා හුදෙක් දේශපාලන චරිතයක් පමණක් නොව, එම පාලන යාන්ත්‍රණයේම කොටස්කරුවකු බවටද ඔවුහු චෝදනා කරති.

මීට අමතරව, මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නීති විභාග වංචා සහ මූල්‍ය අවභාවිත චෝදනා ද පෙන්වා දෙන විරෝධතාකරුවන් සඳහන් කරන්නේ, මෙවැනි පුද්ගලයකුට ගෝලීය වශයෙන් කීර්තිමත් වේදිකාවක් ලබා දීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සිදු කරන බාධාවක් බවයි.

තම ජනතාවගේ වේදනාව දේශපාලන සංවාද සඳහා මෙවලමක් කර ගැනීමට ඉඩ නොදෙන බව පවසන මෙම සංවිධාන, මන්ත්‍රීවරයාගේ පැමිණීමට එරෙහිව සාමකාමීව පෙළගැසෙන බව ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!