BREAKING NEWS
Search

‘අපිට කවුරුවත් ලොකු නැහැ, ඩඩ්ලිගේ හෝටලෙත් අයින් කරනවා’ – ඇමති ලාල්කාන්ත

1308

“ඔය ගොල්ලොත් වැව් තාවුලුවල ඉන්නවා නම්, හෝටල් කරගෙන හරි මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. ඒ තැන්වලින් අයින් කරනවාමයි. ඒක ඩඩ්ලි සිරිසේනද, අපිට එකෙක්වත් ලොකු නෑ.’’ යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේය.

“කිරි ඉතිරෙන රටක්’’ DAIRY HUB සමාරම්භක උළෙලේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙම උත්සවය තඹුත්තේගම, නිරාවිය ගොවිපොළේදී ඊයේ (20 වැනිදා) පැවැත්විණි.

එහිදී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

“එයා අපිට ලොකුයි මේ වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී. ඒ ක්ෂේත්‍රයේදී එයා වටිනා මිනිහෙක්. මිනිස්සු අපහාස කළාට, බැන්නාට ඒ මනුස්සයා නැත්නම් අපිට තාම බත් කනකොට ගල් හැපෙනවා. ලංකාවේ මිනිස්සුන්ට හාල් ගරන්නේ නැතිව වැලි කැටයක් හැපෙන්නේ නැතිවෙන්න හාල් ටික වෙළෙඳපොළට දීපු මිනිහා තමයි ඩඩ්ලි සිරිසේන. ඒ මනුස්සයා වැඩක් කරලා තියෙනවා. වටිනා මිනිහෙක්. හැබැයි අපිට එයත් එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. ගොවි ජනතාවගෙන් වී මිලදී ගන්නකොට ඇතැම් අවස්ථාවල ගොවියාට සාධාරණ මිලක් ලබාදීලා නෑ. ඒක අපි බේරගත්තා ගිය මාසේ ඉඳන්. අපි කිව්වා අපි වී කිලෝව 120 ට ගන්නවා කියලා. ඒගොල්ලෝ ගත්තා රුපියල් 130 ට 140 ට.

ඊළඟට අපිට ප්‍රශ්නයක් තියෙනවා වී ටික මිලදී අරගෙන පාරිභෝගිකයා ගසා කනවාද කියලා. ඒ දෙක විතරයි අපිට බේරගන්න තියෙන්නේ. නැත්නම් ඒ මනුස්සයා මේ රටට සැලකිය යුතු ජාතික වගකීමක් ඉෂ්ට කරපු මනුස්සයෙක්. ඒ ගෞරවය දෙන්නත් ඕනේ ඕන්නැති කෑල්ලක් තියෙනවා නම් ඒ ඕන්නැති කෑල්ල අයින් කරන්නත් ඕනේ.’’ යැයිද ඇමැතිවරයා කීවේය.

අනුරාධපුර, නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරු ඔය ජලාශය, පොළොන්නරුව මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව ඇතුළු වැව් 22 ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට නියමිතය. ඒ අනුව, නුවර වැව රක්ෂිතයේ මායිම් සලකුණු කිරීමේ කටයුතු පෙරේදා (19 වැනිදා) ආරම්භ කෙරිණි.

අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධව කමිටුවක් මගින් සොයා බලා, එම ඉදිකිරීම් සම්බන්ධව තීරණයක් ගන්නා බව වාරිමාර්ග හා ඉඩම් නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!