උතුරේ දේවස්ථානයකට බීමතින් කඩා වැදී දේව ප්‍රතිමාවක් ද පොඩි පට්ටම් කර දැමීමේ චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ සංවිධායකයකු ඇතුළු පිරිසක් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති පරිදි තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිතය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පල්ලිය පිහිටි භුමියට සමීප ස්ථානයක එළුවකු මරා මස් කර, බියර් බී කයිට්ස් දූපතේ, මෙලින්ජිමුනෙයි නාරායම්පති මාතා පල්ලියේ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කඩා බිද දැමූ බවට ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායක වේල් මුරුගන් මයුරන් ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇති බවයි.
ජුලි 26 වැනිදා එම දේවස්ථානයට යාබදව පිහිටි ස්ථානයක විසි දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මත්පැන් සාදයක් පවත්වමින් කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම නිසා දේවස්ථානයේ පූජකවරු එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ අවස්ථාවේදී ඔවුන් පූජකවරුන් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ඇත. බීමතින් සිටි වේල් මුරුගන් මයුරන් ඇතුළු පිරිස පල්ලිය වෙත පැමිණෙන සංචාරකයන් සමගද ගැටුම්කාරී තත්වයක් ඇති කරගෙන ඇති බව පළාත් බව වාර්තාකරුවෝ පවසති.
ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඒ අවස්ථාවේ බලහත්කාරයෙන් ආගමික භුමියට ඇතුළු වු පිරිස පල්ලියේ ස්ථාපිත කොට තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට හානි සිදු කර දේවස්ථානයේ තවත් දේපල වලට අලාභ හානි සිදූ කොට ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පල්ලියේ පාලනාධිකාරිය විසින් කයිට්ස් පොලීසිය දැනුවත් කර ඇති අතර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව පොලීසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත








