පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප වත්මන් රජය බලයට පත්වීමත් සමග ම රටේ උණුසුම් මාතෘකාවක් බවට පත්විය.
දින තුනකට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට ද වත්මන් රජය කටයුතු කළේ ය.
එවන් පසුබිමක සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලබා ගන්නා වැටුප් දීමනා පිළිබඳව විස්තරයක් අද (පෙබ: 19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් හා දීමනා මොනවා ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් සහ මාසික සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක් ගෙවනු ලබන බව අගමැතිවරිය සඳහන් කළා ය.
එමෙන් ම, මාසික රියැදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවනු ලබන බවත්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියැදුරෙකු ලබා ගතහොත්, අදාළ මන්ත්‍රීවරයාට රියැදුරු දීමනාවක් නොගෙවන බව ද ඇය කියා සිටියා ය.
අගමැතිවරිය සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දුරකතන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද, ගෙවනු ලබන අතර කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක මුදලක් හිමි වේ.
රැස්වීම් දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබන අතර, පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලැබේ.
පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබන බවත්, අගමැති හරිනි අමරසූරිය විපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස පැවසුවා ය.
මේ අතර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප හා දීමනා ලබා නොගන්නා බව ද මෙහිදී හෙළි විය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප් හා දීමනා ලබා නොගන්නා බවට 2025.08.20 දිනැති ලිපිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක විසින් කරන ලද ලිඛිත දැනුම් දීම අනුව 2025 අගොස්තු මස සිට වැටුප් හා දීමනා ගෙවීම් නතර කර ඇත,” යනුවෙන් අගමැති හරිනි අමරසූරිය සඳහන් කළා ය.
තව ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ම හිමි ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට අගමැතිනිය, කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, කාරක සභා සභාපතිවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විපක්ෂ නායක සහ විපක්ෂයේ සංවිධායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නියෝජ්‍ය සංවිධායකවරුන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට ලිඛිතව දන්වා ඇති බව ද අගමැතිනිය පාර්ලිමේන්තුවට පැවසුවා ය.
ඒ අනුව ඔවුන්ට එම ඉන්ධන දීමනාව නොගෙවන බව අගමැතිනිය දැනුම් දුන්නා ය.
දස වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද, අගමැතිවරිය ඉදිරිපත් කළ කරුණු අනුව සමගි ජන බලවේගයේ නයන වාසලතිලක මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබා ගන්නා හෙළි වූ බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ ය.
“එක පැත්තකින් ඔබතුමියලා ජනවරම ගැන කතා කරනවා බොහොම හොඳයි, හැබැයි ජනවරමේ තිබුණා වැටුප් රහිතව මේ පාර්ලිමේන්තුව තුළ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කට්ටිය ඉන්නවා කියලා. අපිට ඔප්පු කරන්න හැකියාව ලැබුණා ගරු කතානායකතුමනි අද දින එහෙම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැර අනිත් 224ම මේ පාර්ලිමේන්තු වැටුප ගන්නවා කියන කාරණය.”
ආණ්ඩු පක්ෂ අරමුදල ගැන විපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතුරු ප්‍රශ්න
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දී ඇති අයවැය වාර්තාවක් දීර්ඝ ලෙස විස්තර කරමින් මන්ත්‍රී වැටුප් හා දීමනා මෙන් ම වෙනත් ප්‍රදානයන් පක්ෂ අරමුදලට බැර කරන බව පෙන්වා දී පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ ද සියලු සාමාජිකයන් රැකබලා ගැනීම පක්ෂ අරමුදල භාවිත කරනවා දැයි ප්‍රශ්න කළේ ය.
“මේක රටට රහසක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ කාලයක් තිස්සේ මන්ත්‍රී වැටුප් හෝ මොන දීමනාවක්වත්, පුද්ගලිකව ගන්නේ නැහැ. ඒක පක්ෂ අරමුදලකට යන එක මම හිතන්නේ මේ මුළු රටේ ම මිනිස්සු දන්නවා. ඒකත් අලුත් කාරණයක් නෙමෙයි, විශේෂයෙන් කියන්න ඕන දේකුත් නෙමෙයි, ඒ විදියට ම තමයි ජාතික ජන බලවේගයත් වැඩ කරන්නේ. ඒකත් අලුත් දෙයක් නෙමෙයි ඒක තමයි අපේ දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතිය,” යැයි අගමැතිවරිය පැවසුවා ය.
එමෙන් ම මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නය පැහැදිලි නැති බව ද කී අගමැති හරිනි අමරසූරිය එකිනෙකාගේ ජීවන රටාවන් වෙනස් බවත් කියා සිටියා ය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ ද, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැටුපෙන් කොටසක් පක්ෂ අරමුදලට ලබා දී වංචාසහගත ලෙස සකස් කරනු ලබන්නේ මන්ත්‍රීවරුන් රැක බලා ගන්නා ක්‍රමයක් නොවේ දැයි දෙවනි අතුරු ප්‍රශ්නය යොමු කරමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැවත අසනු ලැබීය.
“එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට උත්තර දෙන්න දේකුත් නෑ. ප්‍රශ්නයක් මතු කළේ නෑ නේ, ගරු මන්ත්‍රීතුමා කතාවක් කළේ. අපි දිගින් දිගට ම මේ සතිය පුරා ම දැක්කේ අපේ දේශපාලන සංස්කෘතිය සහ අපේ භාවිතාව තේරුම් ගන්න බැරි සහ ඊට හාත්පසින් ම වෙනස් විදියට දේශපාලන ව්‍යාපාර රටේ ජනතාවගේ මුදල් අවභාවිත කරමින් ගත්ත තීන්දු, තීරණ පිළිබඳව මේ ඝට්ටනය නේ. මේකේ තියෙන මේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි එළියට එන්නේ. ඒ නිසා නේ 159 දෙනාගේ මොකක් හරි වැරැද්දක් හොයන්න ඔච්චර දඟලන්නේ. මේ කියන කරුණු මොකක්වත් ජනතාවට අලුත් නැහැ. එතුමා ප්‍රශ්නෙකුත් ඇහුවේ නෑ. ඉතින් මට උත්තරයක් දෙන්න විදියක් නැහැ,” අගමැති හරිනි අමරසූරිය පැවසුවා ය.
BBC Sinhala







