ලොව දෙවන විශාලතම ධනවතා වන ඔරකල් සමාගමේ සම-නිර්මාතෘ ලැරී එලිසන්, සිය සම්පූර්ණ ධනයෙන් 95%ක ප්‍රතිශතයක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
ෆෝබ්ස් සඟරාවට අනුව, 81 හැවිරිදි වියේ පසුවන මෙම ප්‍රකෝටිපතියාගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 350ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ (AI) මෑතකාලීන පිබිදීමත් සමඟ ඔරකල් සමාගමේ කොටස් මිල ඉහළ යාම ඔහුගේ වත්කම මෙලෙස වර්ධනය වීමට සෘජුවම හේතු විය.
මෙම මූල්‍යමය වර්ධනයත් සමඟ, මීට මසකට පමණ ඉහතදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් අභිබවා යාමටද ඔහු සමත් විය.
පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් බිලියන ගණනක් රැස් කළ, සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට මයිකල් මිල්කන්ගේ සමීපතම මිතුරෙකු වන එලිසන්, සැබෑ සතුට ලැබීමේ මාර්ගය පරාර්ථකාමීත්වය තුළින් විවර වන බව විශ්වාස කරන්නෙකි.
ප්‍රකෝටිපතියන් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් සිය වත්කමෙන් අඩක්වත් පරිත්‍යාග කිරීම සඳහා දිරිගැන්වීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් සහ වොරන් බෆට් විසින් 2010 වසරේදී ආරම්භ කරන ලද ‘ගිවිං ප්ලෙජ්’ (Giving Pledge) ව්‍යාපාරයට ලැරී එලිසන් ද අත්සන් තැබීය.
එහිදී ඔහු සෞඛ්‍ය සහ වයස්ගත වීම සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා සිය ධනයෙන් 95%ක් ලබා දීමට පොරොන්දු විය. මාර්ක් සකර්බර්ග්, මැකෙන්සි ස්කොට්, මයිකල් බ්ලූම්බර්ග්, ජෝර්ජ් ලූකස් සහ සෑම් ඇල්ට්මන් වැනි තවත් ප්‍රකෝටිපතියන් රැසක් මෙම ප්‍රතිඥාවට අත්සන් තබා ඇත.
2010 වසරෙන් පසුව එලිසන් විසින් සිදුකරන ලද ප්‍රධාන පරිත්‍යාග කිහිපයක් ද වාර්තා වේ. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ද, එලිසන් වෛද්‍ය පදනමට ඩොලර් බිලියනයක් පමණ ද පරිත්‍යාග කර ඇත. මීට අමතරව, ඩොලර් බිලියන 1.3ක් වටිනා ඔක්ස්ෆර්ඩ් ඊඅයිටී (EIT) අධ්‍යාපන ආයතනයක් 2027 වසර වන විට විවෘත කිරීමට නියමිතව ඇත්තේද ඔහුගේ මූල්‍යමය දායකත්වයෙනි.