BREAKING NEWS
Search

ඇල්ලූ පාතාලයින්ට තිබූ දේශපාලන සබඳතා එළිකරයි

3469

ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවරදී දින හතක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු පාතාල නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 30 වන දා රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. යූ.එල්. 365 දරණ ගුවන් යානයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ආ මෙම සැකකරුවන් පිරිස,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම රැඳවුම් කාලය මාස තුනක් දක්වා දීර්ඝ කර ගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස සතුව තිබී සොයාගත් ජංගම දුරකතන හතක් ඔස්සේ පුළුල් විමර්ශනයක් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබේ. මුලින් ඩුබායි රාජ්‍යයට පලාගොස්, පසුව තවත් රටවල් කිහිපයක සැඟවී සිටිමින් ශ්‍රී ලංකාවේ සිටින සිය ගෝලයන් හරහා මනුෂ්‍ය ඝාතන මෙහෙයවීම සහ පොලිස් නිලධාරීන්ට බිය ගැන්වීම් වැනි අපරාධ රැසක් මෙම දුරකතන හරහා සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

 

සැකකරුවන් විදේශයන්හි සිටියදී විවිධ තරාතිරම්වල පුද්ගලයන් සමග පවත්වා ඇති සමීප සබඳතා පිළිබඳව මෙන්ම, ඇතැම් දේශපාලනඥයන් සමග සම්බන්ධකම් පැවැත්වූයේ ද යන්න ගැන ද විශේෂ අවධානයක් යොමු කරමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ජංගම දුරකතනවල දත්ත විශ්ලේෂණය ඔස්සේ එම සබඳතා ජාලය පිළිබඳව මෙන්ම, විදේශයන්හි සිට සැලසුම් කළ අපරාධ පිළිබඳව ද තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වෙතැයි විමර්ශකයෝ විශ්වාසය පළ කරති.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ගම්පහ, උඩුගම්පල පදිංචි මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ (37), මීගමුව, කටාන පදිංචි පී. ශලින්ත මදුශාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත (38), පානදුර, අළුබෝවත්ත පදිංචි පී. නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග (36), උල්හිටියාවේ පදිංචි එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන්ත (35) සහ මිද්දෙණිය පදිංචි පී.ආර්. ළහිරු හෙවත් තැඹිලි ළහිරු (29) යන අය වෙති.

නීති විරෝධී ගිනි අවි භාවිතයෙන් පුද්ගල ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට මරණීය තර්ජන එල්ල කිරීම මෙන්ම, පසුගිය පෙබරවාරි 19 වන දා කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවේ සිටි ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කිරීමේ චෝදනාව ද කෙහෙල්බද්දර පද්මේ වෙත එල්ල වී තිබේ. ඊට අමතරව, සිය ගෝලයෙකු වන ‘වලස් කටා’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කෝප වී උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ පාතාල මර්දන ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතාට ඉන්දුනීසියාවේ සිට දුරකතනයෙන් මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

 

යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයෙකු වන කමාන්ඩෝ සලින්ත නමැත්තාට බිහිසුණු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, පානදුරේ නිලංග නැමැත්තාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද විමර්ශන ක්‍රියාත්මක වේ. බැකෝ සමන්ත සහ තැඹිලි ළහිරු නැමැත්තන් ද විවිධ අපරාධ චෝදනා යටතේ පරීක්ෂණවලට ලක්වන බව පොලිසිය සඳහන් කරයි.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ විමර්ශන ඒකක යටතේ රඳවාගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කෙරේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ උපදෙස් මත, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *