BREAKING NEWS
Search

‘අතුරුදන් වූ බව කී’ SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

5632

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

ඇය එම තොරතුරු ඉදිරිපත් කළේ, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනයක් කර නැහැ’
ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළා ය.

“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ, 2012.05.23 දින. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත.”

 

ව්‍යාපෘතියේ අරමුණ
මෙහිදී අදාළ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා ය.

“ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් ව්‍යාපෘතියක් ලෙස යි, ඒක ආයෝජනය කරල තියෙන්නෙ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme SHST පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිත ය. මෙම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇත.”

එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසූ පරිදි Supreme Global Holdings (PVT) Limited ආයතනයට කොටස් 80%ක සහ Supreme SL Investments (PVT) Limited ආයතනයට කොටස් 20%ක අයිතිය පැවතිණි.

2015 සිට 2023 දක්වා ලැබූ ආදායම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.

ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේ ය.

2015/2016 – රු. මිලියන 19617
2016/2017 – රු. මිලියන 28133
2017/2018 – රු. මිලියන 29106
2018/2019 – රු. මිලියන 34169
2019/2020 – රු. මිලියන 42960
2020/2021 – රු. මිලියන 62545
2021/2022 – රු. මිලියන 87789
2023 පළමු මාස 6 – රු. මිලියන 39590
ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909කි.

දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, තමන්ට “ලැබිලා තියෙන වාර්තා අනුව මේ පිළිතුර සකස් කළ” බව ය.

‘චිචීගෙ රොකට් එක’
අග්‍රාමාත්‍යවරිය පිළිතුරු දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ඩොලර් මිලියන 300ක් වැය කළ මෙම චන්ද්‍රිකාව මේ වන විට අතුරුදන්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂයේ සිටියදී චෝදනා කළ බව ය.

“ඕක ලංකාවෙ වැඩියෙන් ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වා ම. මෙතන කිව්වා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරල අතුරුදන් වෙලා කියල තමයි කිව්වේ. මම මේ ප්‍රශ්නය අහපු දවසෙ බිමල් රත්නායක මහත්තය කිව්වා, අතුරුදන් වෙලා කියලා. දැන් අග්‍රාමාත්‍යතුමිය ම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේ ම අනික් පැත්තෙන් වාර්ෂිකව රටට ආදායමක් ඇවිල්ල තියෙනව කියලා. ඍජු ආයෝජනයක් ඇවිල්ල තියෙන්නේ.”

“ගිය සතියට උඩින් සතියෙ පාර්ලිමේන්තුවෙ සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා පහර දුන්නා මේක ලංකාවේ රජයේ ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියල. හැබැයි අද අගාමාත්‍යතුමිය කියනවා, මේකෙන් විශාල ආයෝජනයක් ඇවිල්ල තියෙනවා, හැම අවුරුද්දක ම ඍජු වාර්ෂික ආයෝජනයක් ලැබිල තියෙනව කියලා.”

අග්‍රාමාත්‍යවරියට අභියෝගයක්
මේ අතර, ඩී.වී. චානක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරියට අභියෝගයක් ද ඉදිරිපත් කළේ ය.

ඒ, වත්මන් රජය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති විශාලතම ඍජු ආයෝජනය කුමක් ද? යන්න දැනුම් දෙන ලෙස ය.

එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, එම ප්‍රශ්නය වෙන ම ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳව අධ්‍යයනය කර පිළිතුරක් ලබා දෙන බව ය.

SupremeSAT ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2012 වසරේ නොවැම්බර් 27 වන දා කක්ෂගත කෙරුණු මෙම චන්ද්‍රිකාව වසර 15ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම චන්ද්‍රිකාව මගින්, දකුණු සහ මධ්‍යම ආසියාව, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව යන කලාප ආවරණය කෙරේ.

Source – BBC Sinhala




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!