BREAKING NEWS
Search

රාජිත රාජිත දින 12 ක් රිමාන්ඩ් – රතන හිමි සති දෙකක් රිමාන්ඩ්..!

609

රාජිත රාජිත දින 12 ක් රිමාන්ඩ්.!

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.

පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොළඹ මහාධිකරණය හමුවේ අද (29) දින පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, එම අධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොසමු කර ඇති අතර එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
වෙනත් නඩුවක් සඳහා අද අධිකරණයට පැමිණි අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර, ඔහුව වහාම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියම කෙරිණි. මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඒ මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට මෙම නියෝගය මගින් වැඩිදුරටත් නියම විය.

හිටපු අමාත්‍යවරයා මහාධිකරණය හමුවේ පෙනී සිටියේ, මෝදර ධීවර වරාය අඩු මුදලකට කුලියට දීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් සඳහාය. එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, වෙනත් දූෂණ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සේනාරත්න මහතාට වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

ධීවර වරායන්හි වැලි ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් දූෂිත අයුරින් පෞද්ගලික සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන එම නඩුවට අදාළ වරෙන්තුව පදනම් කරගනිමින්, හිටපු අමාත්‍යවරයාට මහාධිකරණය මගින් මීට පෙර ලබාදී තිබූ ඇප අවලංගු කර, ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.

රතන හිමි දෙකක් රිමාන්ඩ්..!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තමන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (29) දින පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ. අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපියකට අත්සන් ලබාගත් බවට වන චෝදනාවකට අදාළ

විමර්ශන මඟහැර සිටීම හේතුවෙන්, අධිකරණය විසින් පසුගිය අගෝස්තු 18 වනදා උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබිණි.

2020 මහ මැතිවරණයෙන් පසු අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලබාගත් ලිපියක් මගින් රතන හිමියන් ලබාගත් බවට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කිහිප වරක් දැනුම් දී තිබුණ ද, රතන හිමියන් එය මඟහැර සිටින බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව, උන්වහන්සේව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබිණි. අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් රාජගිරියේ පිහිටි උන්වහන්සේ වැඩසිටි ආරාමයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ එහි නොසිටි අතර, දුරකථනය ද විසන්ධි කර තිබූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබූ පසුබිමක, උන්වහන්සේ අද දින මෙලෙස අධිකරණයට පැමිණ ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *