BREAKING NEWS
Search

රන්වල සැබෑ පර්යේෂකයෙක්.. නමුත් උපාධි සහතිකයක් නෑ…! – බිමල්

507

 

හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ, ඔහුට දේශපාලන වශයෙන් දිය හැකි උපරිම දඬුවම පක්ෂය විසින් ලබා දී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්වෙමින් මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න මහතා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම 2024 නොවැම්බර් මාසයේදී පවත්වන ලද කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ඉතා කෙටි කාලයකින් අශෝක රන්වල මහතා සිය උපාධි සහතිකය ඉදිරිපත් කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙතෙක් එම සහතිකය ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව ලැබී නොමැති බව මෙහිදී මාධ්‍යවේදියා පෙන්වා දුන්නේය.

රන්වල මහතා සැබෑ පර්යේෂකයෙකු බවත් ඔහුට ඒ පිළිබඳ පිළිගැනීමක් පවතින බවත් සඳහන් කළ බිමල් රත්නායක මහතා, එහෙත් ඔහු සතුව ඉදිරිපත් කිරීමට සහතිකයක් නොමැති බව තමන් විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

පක්ෂය ලබා දුන් දඬුවම මෙම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂය විනයානුකූලව කටයුතු කර ඇති බවත්, ඔහු කථානායක ධුරයෙන් ඉවත් කිරීම මගින් පුද්ගලයෙකුට දේශපාලනිකව හෝ සමාජීය වශයෙන් දිය හැකි උපරිම දඬුවම ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

රටේ තුන්වන පුරවැසියා ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට එවැනි පදවියක් අහිමි වීම බරපතල තත්ත්වයක් බවත්, එම තීන්දුව පක්ෂය විසින් ගන්නා ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!