BREAKING NEWS
Search

රාවණා මිය ගියේ නැත! දස දහස් වසරක අභිරහස් නිද්‍රාව

1441

 

වසර දහස් ගණනකට පෙර ලෝකයක් පාලනය කළ අසහාය ප්‍රතාපවත් නිරිඳෙකු අදටත් ලංකා පොළව යට කොහේ හෝ තැනක හුස්ම ගනිමින් සිටින බව ඔබ මොහොතකට හෝ විශ්වාස කරනවාද? ඉන්දියාවේ වාල්මිකී විසින් ලියූ රාමායණයට අනුව රාවණා රජු රාම කුමරු අතින් මියගිය බව පැවසුවත්, හෙළ යක් පරපුරේ විශ්වාසය ඊට හාත්පසින්ම වෙනස් එකකි. ඔවුහු දැඩිව විශ්වාස කරන්නේ රාවණා රජු මිය නොගිය බවත්, ඔහු දීර්ඝ කාලීන සිහිමුර්ජා තත්ත්වයක හෙවත් ගැඹුරු නිද්‍රාවක පසුවන බවත්ය. මෙය හුදෙක් කටකතාවක් නොව පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ලෙස රැකගෙන ආ ප්‍රබල විශ්වාසයකි.

මෙම අභිරහස් නිද්‍රාව පිළිබඳ කතාව ආරම්භ වන්නේ රාම – රාවණා යුද්ධයේ අවසන් භාගයේදීය. ජනප්‍රවාදවලට අනුව රාම කුමරු රාවණා රජුට එල්ල කර ඇත්තේ මාරාන්තික විෂ සහිත හෝ අධි බලැති තාක්ෂණික අවියකි. එම ප්‍රහාරයෙන් රාවණා රජුගේ ශරීරය අඩපණ වූවා මිස ප්‍රාණය නිරුද්ධ වී නැත. රාවණා යනු ආයුර්වේදය සහ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ පරතෙරටම ගිය අයෙකු බැවින්, ඔහුගේ ශරීරය තුළ තිබූ යම් රසායනික බලපෑමක් හෝ ඔහු පානය කර තිබූ අමෘතය වැනි ඖෂධයක් නිසා මරණය වෙනුවට ශරීරය “නිද්‍රා” තත්ත්වයට පත් වූ බව කියැවේ. යුද්ධය අවසානයේ රාවණාගේ දේහය භාරගත් විභීෂණ රජුට පවා දේහය ආදාහනය කිරීමට නොහැකි වූයේ ශරීරයෙන් පිට වූ අසාමාන්‍ය උෂ්ණත්වය නිසා බවත් සඳහන් වේ.

මිය නොගිය රජුගේ දේහය පසුව නාග ගෝත්‍රිකයන් විසින් ඉතා රහසිගතව රැගෙන ගිය බවට මතයක් පවතී. ඔවුන් විසින් රාවණා රජුගේ දේහය නරක් නොවන ලෙස විශේෂ දේශීය ඖෂධ වර්ග ආලේප කර, ලංකාවේ මධ්‍යම කඳුකරයේ අතිශය දුෂ්කර සහ මිනිස් වාසයෙන් තොර ගිරි දුර්ගයක පිහිටි ගුහාවක තැන්පත් කළ බව කියැවේ. මහියංගනය ප්‍රදේශයේ පිහිටි “යහන්ගල” යනු එවැනි එක් ස්ථානයක් ලෙස ප්‍රකටය. යහනක් හෙවත් ඇඳක් ආකාරයෙන් දිස්වන මෙම ගල මත හෝ ඒ අසල ගුහාවක රජු නිදා සිටින බවත්, එම ප්‍රදේශයට අදටත් අදෘශ්‍යමාන බලවේගවලින් ආරක්ෂාව ලැබෙන බවත් ගම්වාසීහු විශ්වාස කරති.

මෙම නිද්‍රාව යනු සාමාන්‍ය නින්දක් නොව, යළි අවදි කරවිය හැකි මට්ටමේ පවතින විද්‍යාත්මක හෝ ආධ්‍යාත්මික සමාධියකි. යම් නිශ්චිත කාලයකට පසු හෝ යම් විශේෂිත ඖෂධීය හෝ මන්ත්‍ර බලයකින් රජු නැවත පණ ලබන බව මෙම පුරාවෘත්තයේ සාරාංශයයි. නවීන විද්‍යාවේ එන “Suspended Animation” හෙවත් ජීව ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා නැවත පණ ගැන්වීමේ සංකල්පය මීට වසර දහස් ගණනකට පෙර රාවණා යුගයේදී ප්‍රායෝගිකව භාවිතා වූවා දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. රාවණා රජුගේ පුනරාගමනය ගැන බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස් පවසන්නේ, හෙළ දේශයට නායකයෙකු අවශ්‍යම මොහොතක ඒ මහා රජු යළි අවදි වනු ඇති බවයි. එය සැබෑවක් ද නැතහොත් හුදු ප්‍රාර්ථනාවක් ද යන්න කාලය විසින් විසඳනු ඇත.

Source – Wishwa Karma




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!