BREAKING NEWS
Search

ඉන්න ගෙයක් නැති තැන සිට බිලියනපතියෙක් වූ රොනාල්ඩෝ

320

“මම ජීවත් වුණ ගෙදර තිබුණේ එක කාමරයයි. මැඩේරියා වල ඉඳපු කුඩා කාලය කියන්නේ මට හිතාගන්නවත් බැරි තරම් අමාරු කාලයක්. අම්මා පිරිසිදු කිරීමේ රැකියාවක් කළා. තාත්තා ගෙවතු හැදුවා, කිට්මෑන් කෙනෙක් විදිහට කටයුතු කළා.”

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙහෙම කියන්නෙ තමන්ගේ කුඩා කාලය සම්බන්ධයෙන්. ඔහු බලාපොරොත්තු වුණ විදිහට කිසිම සැප සම්පතක් ඔහුට කුඩා කාලයේදී ලැබුණේ නෑ. රොනාල්ඩෝට කෑම නැතුව සෑහෙන බඩගින්නේ ඉන්න පවා සිද්ධ වුණා.

“අපි සමහර වෙලාවට වේල් ගණන් කෑවේ නෑ. සමහර වෙලාවට කඩවලින් ඉවත් කරන කෑම කන්න අපි බලන් ඉන්නවා. සමහර වෙලාවට කඩවල පිටිපස්සට ගිහින් ඔවුන්ගෙන් කෑම ඉල්ලනවා.”

රොනාල්ඩෝගේ පියා කියන්නේ සත්‍ය වශයෙන්ම බේබද්දෙක්. ඔහු සෑහෙන මත්පැන් පානයට ඇබ්බැහි වෙලා හිටියා. මේ හින්දම ලැබෙන ආදායමෙනුත් වැඩි කොටසක් ඔහු වැය කළේ මත්පැන් වලට. හැබැයි කවදාවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ තාත්තා ගැන වැරදි විදිහට කතා කරලා නෑ,

“මම තාත්තට කිව්වා අපි පොහොසත් වෙන්න යන්නේ, මම ඔයාට ලොකු ගෙයක් අරන් දෙන්නම්. මෙච්චර කාලයක් ගෙවපු අපහසුතා තව ටික දවසකින් ඉවර වෙයි.” රොනාල්ඩෝ මෙහෙම කියන්නේ තමන්ගේ වෘත්තීමය පාපන්දු දිවිය ආරම්භ කරන්න පටන් ගනිද්දී.

හැබැයි මේ දේවල් දකින්න, විඳින්න තරම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පියා වාසනාවන්ත වුණේ නෑ. ඔහු ඊට කලින් මෙලොව හැර ගියා. අදටත් තමන්ගේ පියා ගැන මතක් කරද්දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සංවේදී වෙනවා.

එතැනින් පස්සේ රොනාල්ඩෝ විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ සාමාජිකයනුත් තමන්ගේ ජීවිත වල ස්වර්ණමය අවදියට පා තැබුවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන නම ලොව පුරා හමායන්න පටන් ගත්තේ කුණාටුවක් වගේ.

ස්පෝර්ටින් සීපී කණ්ඩායමෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් වලට හුවමාරු වන රොනාල්ඩෝ ඉන් අනතුරුව ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩා සමාජය වන රියාල් මැඩ්රීඩ් සමග එකතු වෙන්නේ වාර්තාගත මුදලකට. එතැනින් පසුව යුවෙන්ටස්, නැවත මැන්චෙස්ටර් යුනයිටඩ් සහ වර්තමානයේ මිලියන ගණනක් වැටුප් ලබන සෞදියේ අල් නසාර් රොනාල්ඩෝගේ නවාතැන් වුණා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩකයෙක්ට එහා ගියපු අයිකන් එකක් බවට පත් වුණා. ඔහුගේ පෙනුම, පෞරුෂත්වය කියන කාරණා මත වෙළඳ සන්නාම ඔහුව හඹා ආවා. දහසින් බැඳි පියලි මිටි ගණන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අතට ලැබුණා. ඔහු දිනෙන් දින ධනවතෙක් බවට පත් වුණා.

පිලිගත් ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කරන අන්දමට ලෝක පාපන්දු ඉතිහාසයේ ඩොලර් බිලියනයක වත්කම් ඉක්මවා ගිය පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකියාව ලැබිලා තියෙනවා. ඔහු ලබන ආදායම් එක්ක බැලුවම ඒක පුදුම වෙන්න කරුණක් නම් නොවෙයි.

ක්‍රීඩකයෙක් වෙනවට අමතරව ඔහු ව්‍යාපාර සන්නාම එක්ක මිලියන ගණන් වලට ගිවිසුම් ගත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි රොනාල්ඩෝ සතුවත් ව්‍යාපාර ජාලයක් ම තියෙනවා.

ඩොලර් බිලියනයක් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රුපියල් කෝටි 30 000 ඉක්මවා ගිය ආදායමක්. ඉන්න ගෙයක් නැතුව කන්න කෑම නැතුව හිටපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ තරම් ධනවතෙක් බවට පත් වෙන්නේ කුඩු විකුණලවත්, මිනී මරලවත් කිසිම කළු සල්ලියක් උපයලවත් නෙමෙයි. උනන්දුවෙන් සහ කැපවීමෙන්.

ඔබටත් ඕනෑ තරම් හැකියාවන් තියෙනවා. නමුත් අසීමිත උනන්දුව සහ කැපවීම නැත්තන් ඒ දේවල් ළඟා කරගන්න බෑ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජීවිත කතාව කියෙව්වම ඔබට ඉගෙන ගන්න පුළුවන් දේ තමයි මේ කැපවීම උනන්දුව එක්ක ඔබට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක.

ඒක හිතාගන්නවත් බෑ. මනුස්සයෙක්ට ඉහළට යන්න ඕනෑ තරම් අවස්ථා, ඕනෑ තරම් දේවල් නිර්මාණය වෙනවා. ඒ දේවල් ග්‍රහණය කර ගන්න නිකම් බෑ. කැපවෙන්නම ඕනි.

පාපන්දු ලොවේ පළමු බිලියනපතියාට උණුසුම් සුබ පැතුම්!

Credit – Pro Sports




Leave a Reply

Your email address will not be published. Required fields are marked *