BREAKING NEWS
Search

ලසාගේ ඝාතකයින් ලෙස රොටුඹ අමිල හා මිදිගම රුවන් සැකයට බඳුන්වේ

4537

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, සමගි ජන බලවේගය නියෝජනය කළ ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ (22) දින උදෑසන සිය නිල කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය ගැන පාතාල නායකයින් දෙන්නෙකු ගැන පොලිසියේ අවධානය යොමුව තිබේ.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් වන මූලික පොලිස් විමර්ශනවලදී, ඩුබායිහි සැඟව සිටින පාතාල නායකයකු වන රොටුඹ අමිල නමැත්තාගේ පාර්ශ්වයක් වෙත මුල් සැකය එල්ල විය. රොටුඹ අමිල යනු, ඝාතනයට ලක් වූ සභාපතිවරයා සහ රිමාන්ඩ් භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා යන දෙදෙනාගේම හිටපු සමීපතමයකු බවත්, පසුව ඇති වූ විරසකයක් මත ඔහුගෙන් මොවුන් දෙදෙනාටම මරණ තර්ජන එල්ල වී තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

කෙසේ වෙතත්, මෙම ඝාතනය පිළිබඳව මේ වන විට දැඩි සැකයක් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ නැමැති පාතාල සාමාජිකයා වෙතද යොමු වී ඇති බව විමර්ශන කණ්ඩායම් පවසයි. ඩුබායි සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මිදිගම රුවන් යනු හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකි. ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර (ලසා) ද කලක් හරක් කටාගේ කල්ලියේ ප්‍රබලයකු වූ නමුත්, හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගෙන් ඈත් වී තිබේ.

මෙම ඝාතනයට ආසන්නම හේතුව ලෙස සැක කෙරෙන්නේ, පසුගිය සැප්තැම්බර් 24 වැනිදා වැලිගමදී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් ටී-56 ගිනිඅවි හතර සම්බන්ධයෙන් වූ ඔත්තුව ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට මිදිගම රුවන් තුළ පැවති දැඩි සැකයයි. එම ගිනිඅවි මිදිගම රුවන්ට අයත් ඒවා බවට අනාවරණය වී තිබිණි. මෙම සිදුවීමෙන් පසු රුවන්ගේ කල්ලියෙන් වික්‍රමසේකර මහතාට දිගින් දිගටම තර්ජන එල්ල වී ඇත.

බන්ධනාගාරයේ සිටින මිදිගම රුවන් සිය මුහුණුපොතේ සටහනක් තබමින්, “ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එක ගොඩේ හිටිය වග… මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ” යනුවෙන් වක්‍රාකාර තර්ජනයක් ද සිදුකර තිබී ඇත. තමාට මිදිගම රුවන්ගෙන් ජීවිත තර්ජන ඇති බව පවසමින් ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු 29 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ආරක්ෂාව ද ඉල්ලා තිබිණි.

මෙම ආණ්ඩුව යටතේ සිදු වූ පළමු දේශපාලන ඝාතනය ලෙස සැලකෙන මෙම සිදුවීමට මුහුණ පෑ ලසන්ත වික්‍රමසේකර මහතා සභාපති ධුරයට පත් වූයේ ඉකුත් ජුලි මස 24 වැනිදාය. වැලිගම, මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු තිදරු පියෙකි. 2018 පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජය වූ ඔහු,

 

මෙවර සමගි ජන බලවේගයෙන් මිදිගම බටහිර කොට්ඨාසය ජයග්‍රහණය කර සභාපති ධුරයට පත්විය.

පොලිස් වාර්තාවලට අනුව, ඝාතනයට ලක් වූ සභාපතිවරයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (අංක 103/215) වන අතර, මියගිය පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ද සමීප සබඳතා පවත්වා ඇත. 2008 වසරේ ඇඟලුම් සේවිකාවන්ගේ රන්බඩු කොල්ලකෑමක් සම්බන්ධයෙන් මාතර මහාධිකරණයේ ද, ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ද ඔහුට එරෙහිව නඩු විභාග වෙමින් පැවතිණි.

මීට අමතරව, 2017 වසරේ ගාල්ලේදී වංචා කිරීමේ සිද්ධියකට සහ කුරුණෑගලදී දේපළ වංචනික පරිහරණ සිද්ධියකට ඔහු වරදකරු වී අත්හිටවූ සිර දඬුවම් ලබා තිබිණි. 2018 වසරේදී ටී-56 උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉකුත් ජුලි මස ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට ද ඔහු වෙත චෝදනා එල්ල විය.

ඊයේ සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු හතරක් සොයාගෙන ඇති අතර, සභාපතිවරයාගේ සිරුරේ වෙඩි වැදුණු තුවාල හයක් දක්නට ලැබුණු බව වැලිගම මූලස්ථාන පොලිසිය සඳහන් කළේය. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *