ඉරානය සංවේදී සන්නද්ධ කලාපයක් තුළ අලුතින් සිදු කළ ඉදිකිරීමකට ඉහළින් තැණූ කොන්ක්‍රීට් ආවරණයක ඡායාරූප චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අනාවරණය කර තිබේ. එම ආවරණය නොපෙනෙන සේ පසින් වසා දැමීමට ද ඔවුන් විසින් කටයුතු කර ඇත. එය 2024 වසරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ ස්ථානයක් බව ද වාර්තා වේ.
එම වසරේ දින 12ක් පුරා පැවති ඉරාන – ඊශ්‍රායල ගැටුමේදී, එක්සත් ජනපදය විසින් ද ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සොයා ගුවනින් බෝම්බ හෙලීය. ඊට ගොදුරු වූ භූගත න්‍යෂ්ටික කලාපයකට ඇතුළුවන උමං මාර්ග වසා දමා ඇති අකාරය ද නව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ අනාවරණය කර ඇත. තවත් ස්ථානයක ශක්තිමත් නව උමං පිවිසුමක් තනා ඇති ආකාරය සහ එක්සත් ජනපද – ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් මිසයිල මධ්‍යස්ථාන අලුත්වැඩියා කර ඇති අන්දම ද එහි දක්නට ලැබේ.

එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සැකයට බඳුන්ව පවතින එම සංවේදී කලාපයන්හි ඉරානය විසින් නව ක්‍රියාකාරකම් සිදු කර ඇති බවට එමගින් විස්වසනීය සාධක මතු වන බව විශේෂඥයෝ පවසති. ඕමානයේ මැදිහත්වීමෙන් දැනට ක්‍රියාත්මක එක්සත් ජනපද – ඉරාන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී.
ටෙහෙරානයට කි.මී. 30ක් පමණ අගිනිදිගින් පිහිටි පාර්චින් සංකීර්ණය ඉරානයේ අති සංවේදී හමුදා මධ්‍යස්ථාන අතුරින් එකක් බව හඳුනා තිබේ. දශක දෙකකට පමණ ඉහත, ඉරානය එහි න්‍යෂ්ටික අවි අත්හද බැලීම් සිදු කර ඇති බවට බටහිර බුද්ධි වාර්තා සනාථ කරයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







