BREAKING NEWS
Search

ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව තර කරයි.. ඇමති ආරක්‍ෂාවට විශේෂ වැඩපිලිවෙලක්…

4167

උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ජනාධිපති, අගමැති, ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් සහභාගී වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන සියලුම නිලධාරීන්ගේ සත්‍ය අනන්‍යතාව කල්තියා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ආරක්ෂක කටයුතු වලදී නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව පොලිස්පතිවරයා අවධාරණය කරයි. ඒ අනුව, ආරක්ෂක රාජකාරි, රථ වාහන පාලන, සෞඛ්‍ය ඇතුළු ඕනෑම සේවයක නිරත වන නිලධාරීන්ගේ තොරතුරු නිවැරදිව පරීක්ෂා කළ යුතුය.

විශේෂ උත්සව අවස්ථාවලදී ආරක්ෂක කලාප හඳුනාගැනීම සඳහා භාවිත කරන වර්ණවත් අත් පළඳනා, පටි, බැජ් හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද උපදෙස් දී ඇත.

ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී අපරාධ සිදුකිරීමට තර්ජනයක් පවතින බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

පසුගිය දිනෙක ව්‍යාජ නීතිඥයකු අධිකරණය තුළදී පුද්ගලයකුට වෙඩි තැබීම වැනි සිදුවීම් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හේතු වී ඇත.

මෙවැනි අනතුරුදායක තත්ත්වයන් වැළැක්වීම සඳහා සෑම නිලධාරියෙකුගේම පෞද්ගලික අවධානය යොමු කරමින් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කර ඇත. මේ අනුව, ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීමක් වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙළ මගින් බලාපොරොත්තු වේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!