ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු බරපතල අපරාධ රැසකට සම්බන්ධ ‘ලොකු පැටී’ නැමැති පාතාල අපරාධකරු, යුද හමුදාවේ විශේෂ බළකායෙන් පළා ආ හිටපු සෙබළුන් යොදා ගනිමින් නව සන්නද්ධ කණ්ඩායමක් ගොඩනඟමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
මෙම තොරතුරු මතු වී ඇත්තේ, ලොකු පැටී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් රුපියල් කෝටි 33ක කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝබර් 16 වැනිදා අත්අඩංගුවට ගත් ගන්දර ප්‍රදේශයේ කපුවකුගෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය. එම විමර්ශන ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද යුද හමුදා විශේෂ බළකායේ සේවය කර පළා ගිය අයෙකි.
අත්අඩංගුවට පත් හිටපු විශේෂ බළකා සෙබළා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් දැන් “වළට වැටී” ඇති බැවින් නැවත ගැලවීමට හෝ ආපසු හැරවීමට කිසිදු ඉඩක් නොමැති බවයි. එසේ කිරීමට උත්සාහ කළහොත් තමන්ව මරා දමනු ඇති බවට ඔහු බිය පළ කර තිබේ.
සිය බිරිඳට සහ දරුවන්ට සැපවත් ජීවිතයක් ලබා දෙමින් දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යොමු කළ ද, තමන් කොයි මොහොතේ වෙඩි උණ්ඩයකට බිලිවේ දැයි නොදැන දැඩි බියකින් ජීවත් වන බවද ඔහු සඳහන් කර ඇත. තමා දන්නා කියන, හමුදාවෙන් පළා ආ තවත් සෙබළුන් පහළොස් දෙනෙකු පමණ තමන් විසින් ලොකු පැටීගේ ජාලයට සම්බන්ධ කර දුන් බව ද මෙම සැකකරු වැඩිදුරටත් හෙළිකර තිබේ.
‘මාකඳුරේ මධුෂ්’ගේ සමීප ගෝලයකු ලෙස පාතාල ගමන ඇරඹූ ලොකු පැටී, 2024 වසරේ ජූලි 08 වැනිදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය විදේශයක සිට මෙහෙයවූවකු ලෙස ද ප්‍රකටය. ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව ඝාතන සැලසුමට ඔහු සම්බන්ධ වී ඇත්තේ, එකල මධුෂ් විසින් ඩුබායි හි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා බවද විමර්ශනවලදී හෙළි වී තිබුණි.
මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වැනි පාබල රෙජිමේන්තුවේ වසර දෙකක පමණ කාලයක් සේවය කර ඇති මොහු, පාතාලයේ කුප්‍රකට චරිතයක් බවට පත්වන්නේ 2017 වසරේ මැයි 09 වැනිදා පිළියන්දලදී රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟය. එම ප්‍රහාරයේදී වෙඩික්කරු වූ ‘ආමි අසිත’ රැගෙන යතුරුපැදිය පැදවූයේ ලොකු පැටී බවට අනාවරණය වී ඇත. මත්කුඩු ජාවාරමට සම්බන්ධ ‘පොඩි පැටී’ නමැති පාතාල අපරාධකරු මොහුගේ සහෝදරයා වේ.
රංගජීව මහතාට වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් මින් පෙර මැදිරිගිරියේදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ලොකු පැටී,
ඇප මත නිදහස් වීමෙන් පසු නීති විරෝධී මාර්ගවලින් රටින් පළා ගියේය. පසුව ඉන්දියාව, ඩුබායි ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සහ මෙරට අපරාධ මෙහෙයවා තිබුණි. ‘ක්ලබ් වසන්ත’ ඝාතනය වන විට බෙලරූස් රාජ්‍යයේ රැඳී සිටි ඔහු, ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ අතර, පසුගිය වසරේ මැයි 04 වැනිදා ඔහුව ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. අධිකරණ නියෝග මත මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය ද, ඔහු එහි සිට ජංගම දුරකථන නිදැල්ලේ භාවිත කරමින් සිය මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ කල්ලි අඛණ්ඩව මෙහෙයවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේ.
Source – Gossip Lanka News







