BREAKING NEWS
Search

වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි

3896

 

 

චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.

ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.

ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.

චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දහසක් බලාපොරොත්තු මැද, අසීරුවෙන් මුදල්ද සොයාගෙන තම මව්බිම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණයට වගකිව යුත්තේ කවුරුන්ද?

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!