BREAKING NEWS
Search

මගේ දරුවාට ගහන මඩ දැන්වත් නතර කරන්න

370

 

අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමසේකර මහතාගේ මව, සිය පුත්‍රයාගේ චරිතයට තවදුරටත් මඩ නොගසන ලෙස ආණ්ඩු පක්ෂයෙන් බැගෑපත් ඉල්ලීමක් කරයි. ඇය මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවකදීය.

 

තම පුත්‍රයාට කිසිදු අවස්ථාවක ආරක්ෂාවක් නොලැබුණු බව පෙන්වා දුන් ඒ මහත්මිය, ‘තම ජීවිතයට විශාල හානියක් වීමට යන’ බව ඔහු නිරන්තරයෙන් තමන් සමග පැවසූ බවද විපක්ෂ නායකවරයා හමුවේ කියා සිටියාය. දරුවා මිය ගොස් සිටියදී පවා, ඔහු විවිධ දේ සිදු කළ බවට නැගෙන චෝදනා දරාගැනීමට නොහැකි බවද ඇය හැඬූ කඳුළින් ප්‍රකාශ කළාය.

 

 

සිය පුත්‍රයා වරදකරුවෙකු වූයේ නම්, ඔහුට ඡන්දය ඉල්ලීමට ඉඩ ලබා දුන්නේ මන්දැයි ප්‍රශ්න කළ වික්‍රමසේකර මහත්මිය, එසේ නම් කළ යුතුව තිබුණේ ඔහුව සිරගත කිරීම බවද කියා සිටියාය. එසේ නොකර, අසත්‍ය ප්‍රචාර මගින් තම දරුවාගේ නාමය අපකීර්තියට පත් කරන බවට ඇය චෝදනා කළාය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු දක්වන ලෙසද ඇය විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියාය.

දැන් සියල්ල සිදුවී අවසන් බවත්, මෙම සිදුවීමෙන් තම මුළු පවුලම විනාශයට පත් වූ බවත් ඇය සඳහන් කළාය. තම මියගිය පුතුගේ දරුවන් මුහුණ දී සිටින අසරණ තත්ත්වය පෙන්වා දුන් ඇය, තමන්ට ජීවිත කාලය පුරාම සිත් හදා ගැනීමට ඉඩ තබන ලෙසත්, තවදුරටත් පාර්ලිමේන්තුව තුළ තමන් ගැන හෝ තම දරුවා ගැන කතා නොකරන ලෙසත් ඉල්ලා සිටියාය.

“මම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා, මගේ දරුවා ගැන තවත් එක වචනයක්වත් කැත විදිහට, මඩ ගහන විදිහට කතා කරන්න එපා. මගේ රත්තරන් පුතා අපිට මැණිකක්. රජෙක් වගේ හිටපු එයා අපිට නැති වුණා. මට ඉල්ලන්න තියෙන්නේ එච්චරයි,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!