බ්‍රිතාන්‍යයේ වාසය කරන සූඩාන ජාතික සරණාගතයෙකු විසින් වෝල්සෝල් හි හෝටල් සේවිකාවක වූ 27 හැවිරිදි රියානන් වයිට් මහත්මියව දුම්රියපොළ වේදිකාවක් මතදී අමානුෂික ලෙස ඝාතනය කළ බවට එරට අධිකරණයේදී චෝදනා එල්ල වී තිබේ.
බ්ස්කොට් ස්ටේඩියම් දුම්රිය ස්ථානයේදී, තමන් 19 හැවිරිදි වියේ පසුවන බව පවසන ඩෙං මජෙක් නැමැති විත්තිකරු, ඉස්කුරුප්පු නියනකින් 23 වතාවක් ඇයට ඇන ඇති බව පැමිණිල්ල චෝදනා කරයි.
මෙම ප්‍රහාරයෙන් දින තුනකට පසු, ඇය රෝහලේදී මිය ගියාය.
වුල්වර්හැම්ප්ටන් රාජකීය අධිකරණයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිෂෙල් හීලි මහත්මිය ජූරි සභාවට දන්වා සිටියේ, විත්තිකරු “තම ක්‍රියාව පිළිබඳව පැහැදිලිවම උද්දාමයට පත්ව” සිටි බවයි. මෙම ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව විත්තිකරු නටමින් සහ සිනාසෙමින් සිටි බවද ඇය පැවසුවාය. කෙසේ වෙතත්, ඩෙං මජෙක් තමාට එරෙහිව එල්ල වී ඇති මිනීමැරුම් චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
වින්දිත රියානන් වයිට් මහත්මියගේ රුධිරය විත්තිකරුගේ ඇඳුම්වල තිබී සොයා ගත් බවත්, ඇයගේ DNA සාම්පල ඔහුගේ නියපොතු යට තිබී හමු වූ බවත් පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම විත්තිකරු සරණාගතයින් රඳවා සිටින වෝල්සෝල් හි පාර්ක් ඉන් හෝටලයේ පදිංචිකරුවෙකු වන අතර, වයිට් මහත්මිය මාස තුනක පමණ කාලයක සිට එහි පිරිසිදු කිරීමේ සහ ආහාර සැපයීමේ අංශවල සේවය කර තිබිණි. ඇයගේ සෙසු සේවකයින්ට අනුව, මෙම ප්‍රහාරයට තුඩු දිය හැකි කිසිදු බරපතල ගැටලුවක් ඔවුන් අතර තිබී නැත. “කැඩුණු බිස්කට් කිහිපයක් සම්බන්ධයෙන්” පදිංචිකරුවන් සමග සුළු සිදුවීමක් වාර්තා වී තිබුණද, එය බරපතල තත්ත්වයක් නොවූ බව හීලි මහත්මිය සඳහන් කළාය.
විත්තිකරු වයිට් මහත්මිය දෙස බලා සිටින අයුරුත්, රාත්‍රී 11:00 ට ඇය සේවා මුරය අවසන් කර පිටත්ව යන විට ඇය පසුපස හඹා යන අයුරුත් CCTV දර්ශනවල සටහන් වී ඇති බව පැමිණිල්ල අධිකරණයට පෙන්වා දුන්නේය. “ඇය පිටත්ව යන තෙක් ඔහු රැඳී සිට ඇති අතර, ඇය තනි වන තුරු බලා සිට ඇයව ලුහුබැඳ ගොස් ඇත,” යනුවෙන් පැමිණිල්ලේ නීතිඥවරිය ප්‍රකාශ කළාය.
රාත්‍රී 11:04 ට වයිට් මහත්මිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබා ගත් අතර, ඇය පාළුවට ගොස් තිබූ වේදිකාව වෙත ළඟා වෙද්දී විත්තිකරු ඇය වෙත ළං වන අයුරු දර්ශනවල සටහන්ව තිබූ බව අධිකරණයේදී කියැවිණි. පැමිණිල්ල පවසන පරිදි, ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම අවස්ථාවේදීය. ඇයගේ මිතුරාට එක්වරම කෑගැසීමක් ඇසුණු බවත්, පසුව තවත් කෑගැසීමක් සමග රාත්‍රී 11:19 ට දුරකථනය විසන්ධි වූ බවත් වාර්තා විය.
ඉන් අනතුරුව, විත්තිකරු යම් වස්තුවක් අතැතිව පඩිපෙළ දිගේ ආපසු දිව යන අයුරු දක්නට ලැබුණු බවත්, එය වයිට් මහත්මියගේ ජංගම දුරකථනය බවට සැක කරන බවත් පැමිණිල්ල කීවේය.
හෝටලයට ආපසු යාමට පෙර ඔහු අසල වෙළඳසැලකට ගොස් පානයක් මිල දී ගෙන ඇත. “දුම්රිය ස්ථානයත් හෝටලයත් අතරතුරදී ඔහු රියානන්ගේ දුරකථනය ගඟකට විසි කර තිබේ. හෝටලයට පැමිණි වූ පසු, තමන් කළ දේ පිළිබඳව පැහැදිලිවම උද්දාමයට පත්ව, ඔහු නටමින් සහ සිනාසෙමින් සිටින අයුරු දක්නට ලැබිණි,” යැයි හීලි මහත්මිය පැවසුවාය.
ඇය ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය රාත්‍රී 11:24 ට වේදිකාවට ළඟා වූ අතර, එහි රියදුරු විසින් වේදිකාව මත වැටී සිටි පුද්ගලයෙකු දැක තිබේ. දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ හෝටලයේ තවත් සේවකයෙකු ඇයට උදව් කිරීමට උත්සාහ කළද, ඇයව බේරා ගැනීමට නොහැකි වී ඇත. සිහිය නොලබාම සිටි ඇය ඔක්තෝබර් 23 වන දින මිය ගියාය. ඇයට සිදු කර තිබූ ඇනුම් තුවාල 23 න් 11 ක්ම ඇගේ හිස් කබල පසාරු කරගෙන ගොස් තිබිණි. මරණයට හේතු වී ඇත්තේ ඉන් එක් තුවාලයක් මොළයේ කඳට (brain stem) හානි කිරීම බව අධිකරණයේදී අනාවරණය විය. ඇය ගැලවීමට උත්සාහ කළ බවට සාක්ෂි දරන තුවාල ද ඇගේ පපුවේ සහ අතේ තිබී ඇත.
ප්‍රහාරය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන හරස්-හිසක් සහිත (cross-headed) ඉස්කුරුප්පු නියනය මෙතෙක් සොයාගෙන නොමැත. “ඔහු ඇයට ලේ ගලමින් මිය යාමට ඉඩ හැර, කිසිත් සිදු නොවූ ලෙස සැහැල්ලුවෙන් ආපසු සිය හෝටලයට ගොස් ඇත. ඔහු මෙම මිනීමැරුමට වරදකරු බව ඔබට සහතික විය හැකිය,” යනුවෙන් පැමිණිල්ල අවධාරණය කළේය. මෙම නඩු විභාගය සති තුනක් පමණ පැවැත්වීමට නියමිතව ඇත.
Gossip Lanka News