මීට වසර 5 කට පමණ පෙර 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු වූ නවක වද සිද්ධියකින් බරපතල තුවාල ලැබූ සිසුවෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා දැනට පවතින මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට (09) නියෝග කර තිබේ.
විනිසුරු ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත්තේ 2020 වසරේ නවක වදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකු වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමිනි.
එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කර ඇත. තවද, නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ද තවත් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.
නවක වදය වැළැක්වීමේ යෝජනා
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි දුරකථන අංකයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත. මෙම දුරකථන අංකය ඔස්සේ නවකවධයට ගොදුරුවූවන්ට සහ සාක්ෂිකරුවන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
එමෙන්ම විශ්වවිද්‍යාලය සහ නේවාසිකාගාර පරිශ්‍රය තුළ පොදු ස්ථානයන් නිරීක්ෂණය කිරීම සඳහා, පිවිසුම් සහ පිටවීමේ ස්ථාන, ආපනශාලා, ක්‍රීඩාගාර, ව්‍යායාම ශාලා, කොරිඩෝ ආශ්‍රිතව CCTV කැමරා සවි කිරීමට ද යෝජනා වී තිබේ.
අනතුරට ලක් වූ සිසුවාගේ සිද්ධිය
මෙම නඩු තීන්දුවට පාදක වූ සිද්ධියට අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නම් සිසුවෙකි.
කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන්ට පසුගිය මාස කිහිපයේ නවක වදය පැවතී ඇති අතර එය අවසන් කරමින් පැවති පිළිගැනීමේ සාදයකදී 2020 වසරේ 5 වැනිදා අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
සාදය රාත්‍රී 12 පමණ වනවිට අවසන් වුවත් සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිටි බවත් සාදය සංවිධානය කළ දෙවැනි වසර සිසුන් අතරින් කෙනෙකු ටයරය ඉහළ සිට පහළට වැදෙන්නට එවන්නට ඇති බවද සැක කෙරේ.
ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් එහි රැදී සිටින්නට කළ අණට පසිඳු අකමැතිවී යන්නට හැදූ නිසා ටයරය ඔහු වෙත හිතාමතාම අතහැර ඇති බව පසිඳු සමග සිටි මිතුරෙකු දන්වා ඇත.
ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම පසිඳුට එයින් වැළකෙන්නට බැරිව ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ එය වැදී බිම ඇද වැටී අසළ තිබූ වීදුරු කණ්නාඩියක්ද බිඳගෙන වැටී තිබේ. වේගයෙන් ආ ටයරය අනපේක්ෂිත ලෙස ඔහුව පෙරළූ අවස්ථාවේ විදුරු පතුරුද ඔහුගේ හිස පසාරු කරගෙන යාම නිසා බිම වැටුණ ඔහුගේ හිසට බරපතළ හානි සිදු වී ඇතැයි වාර්තා වේ.
එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ ප්‍රතිචාරය
අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ විනයාධිකාරිගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කර ඇත.
තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න තවම අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කර ඇත.
දැඩි නීතිමය ක්‍රියාමාර්ග
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර ඇත.
මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස ද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කර ඇත.
මෙම නඩු තීන්දුව මගින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාවේ දිගු කාලයක් තිස්සේ පවතින නවක වදය සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට අධිකරණය මැදිහත් වීම සුවිශේෂී වන අතර, නවක වදය නිසා අනතුරට පත්වන සිසුන්ගේ සංඛ්‍යාව අවම කිරීමට මෙම නීතිමය ක්‍රියාමාර්ග හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.







