1990 සුව සැරිය ගිලන්රථ සේවාවේ නම සහ වර්ණ වෙනස් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධය පළ කරන ලදී.
මෙම සේවාව විනාශ නොකරන ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, 2018 අංක 18/19 අනුව සුවසැරිය පනත තමන් විසින් 2018 ජූනි මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. මෙම පනතේ නිශ්චිත පරමාර්ථය වූයේ “1990 අනුව සුව සැරිය” නමැති පදනමක් මගින් මෙරට ඕනෑම තැනැත්තකුට නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් සහ හදිසි ප්‍රතිකාර සේවාවක් ලබා දීම බව ඔහු පැහැදිලි කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අද වන විට සුව සැරිය යනු රටේ ජනතාව වැඩිපුරම ආදරය කරන, ලොකු ගෞරවයක් හා විශ්වාසයක් දිනාගත් සේවාවක් බවයි.
ඔහු විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. දිනකට කිලෝමීටර 28,000ක් ගමන් කරයි. දිනකට රෝගීන් 1050ක් රෝහල් කරා ගෙන යනු ලබයි. අද වන විට රටේ මිලියන 2.5කට අධික පිරිසකට සේවාව ලබා දී ඇත.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද වන විට හෘදයාබාධයක් වැළඳුන විට සියලු දෙනාම විශ්වාසයෙන් යුතුව සුව සැරියට කතා කරන බවයි.
සේවාව මෙතරම් සාර්ථකව ක්‍රියාත්මක වන තත්ත්වයකදී පවා එය වෙනස් කිරීමට “ඩිරෙක්ටිව් එකක්”ලබා දී ඇති බව මන්ත්‍රීවරයා කනගාටුවෙන් සඳහන් කළේය.
“1990 අනුව සුව සැරිය” යන නාමය ඉවත් කිරීමට (අයින් කිරීමට) උත්සාහ කිරීම, ගිලන්රථවල වර්ණ (පාට) වෙනස් කිරීමට උත්සාහ කිරීම, එමෙන්ම “ඔවුන්ගේ පාට දාන්න” යැයි දැනුම් දී තිබීම, සුව සැරිය සඳහා වන නිල ලෝගෝව (logo) වෙනස් කිරීමට උත්සාහ කිරීමට විරෝධය පල කරන බවත් ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ, යම් හෙයකින් මෙම සේවාවෙහි වෙනස්කම් කිරීමට අවශ්‍ය නම්, පනත වෙනස් කිරීමකින් තොරව එය සිදු නොකරන ලෙසයි.
“වෙනස් කරනවා නම් ඕගොල්ලෝ පාර්ලිමේන්තුවට අමේන්ඩ්මන්ට එකක් ගේන්න. අමේන්ඩ්මෙන්ට එකක් ගෙනලා මේ පනත වෙනස් කරන්න,” යනුවෙන් ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.
මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, විපක්ෂයේ සිටියත් මෙම සේවාවට සහ එහි කාර්ය මණ්ඩලයට හැමදාම ගෞරවය හා ආශිර්වාදය ලබා දෙන බවත්, ඕනෑම අවස්ථාවක උදව් කිරීමට සූදානම් බවත්ය
Source – Lanka C News