තලෙයිබාන් පාලනය විසින් 2025 සැප්තැම්බර් 29 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාල සහ සන්නිවේදන සේවා සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. අන්තර්ජාල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතනයක් වන නෙට්බ්ලොක්ස් (NetBlocks) ආයතනයට අනුව, සඳුදා රාත්‍රියේ සිට ජංගම දුරකථන සංඥා සහ අන්තර්ජාල සම්බන්ධතා ක්‍රමයෙන් අඩපණ වී ඇති අතර, එය සාමාන්‍ය මට්ටමෙන් සියයට එකක් දක්වා පහත වැටී ඇත.
මෙම හදිසි පියවර හේතුවෙන් බැංකු කටයුතු, මාර්ගගත ව්‍යාපාර, කාබුල් ගුවන්තොටුපළේ ගුවන් ගමන් සහ ප්‍රවෘත්ති ආයතනවල සන්නිවේදන හැකියාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. තලෙයිබාන් රජය විසින් මෙම තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවට නියෝගයක් නිකුත් කර ඇත. මීට පෙර සිටම කන්දහාර්, උරුස්ගාන්, හෙල්මන්ඩ්, නිම්රෝස් සහ බල්ක් වැනි පළාත් රැසක මෙවැනි අර්ධ සීමාවන් පනවා තිබුණි.
2021 දී තලෙයිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු වාර්තා වන විශාලතම සන්නිවේදන බිඳවැටීම මෙය වන අතර, එය කාන්තා අයිතිවාසිකම් සහ තොරතුරු දැනගැනීමේ නිදහස සීමා කිරීමට ගන්නා ලද දැඩි ප්‍රතිපත්තිමය තීරණයක කොටසක් ලෙස සැලකේ. “අනිසි ක්‍රියාකාරකම්” වැළැක්වීමේ අරමුණින් මෙම මස මුල සිටම ඇතැම් ප්‍රදේශවල අධිවේගී අන්තර්ජාල සේවා අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කළේ, ෆයිබර් ඔප්ටික් රැහැන් පද්ධතිය කපා දමා ඇති බවත්, ක්‍රමානුකූලව ජංගම දුරකථන සේවා ද අක්‍රිය වනු ඇති බවත් ය. ජංගම දුරකථන කුලුනු 8,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් වසා දමන බවත්, මෙම තත්ත්වය මීළඟ දැනුම්දීම තෙක් පවතිනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත. නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, රට පුරා බැංකු, රේගු ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම බලපාන පරිදි විකල්ප සන්නිවේදන ක්‍රමයක් නොමැති බවයි. නෙට්බ්ලොක්ස් ආයතනයද මෙය සිතාමතා සිදුකළ සේවා අත්හිටුවීමක් බවට තහවුරු කර තිබේ.
මීට පෙර සැප්තැම්බර් 16 වන දින බල්ක් පළාතේ ප්‍රකාශක අටාවුල්ලා සෙයිද්, තලෙයිබාන් නායකත්වයේ නියෝග මත උතුරු පළාතේ ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල සේවාවට පූර්ණ තහනමක් පැනවූ බව නිවේදනය කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පවසා තිබුණේ “වැරදි හැසිරීම්” වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්, අවශ්‍ය සම්බන්ධතා සහතික කිරීම සඳහා රටපුරා විකල්ප විධිවිධාන යොදන බවත්ය. ඒ සමගම, බඩක්ෂාන් සහ තඛාර් වැනි උතුරු පළාත්වලට අමතරව දකුණු පළාත් වන කන්දහාර්, හෙල්මන්ඩ්, නන්ගර්හාර් සහ උරුස්ගාන් යන ප්‍රදේශවල ද එවැනිම සීමා කිරීම් වාර්තා විය.
ඇෆ්ගනිස්ථානය ගෝලීය ලෝකය සමඟ සම්බන්ධ කිරීම සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින්, පෙර පැවති එක්සත් ජනපද අනුග්‍රහ ලත් රජයන් විසින් ප්‍රධාන වශයෙන් ඉදිකරන ලද කිලෝමීටර් 9,350 (සැතපුම් 5800 ක් පමණ) ක ෆයිබර් ඔප්ටික් ජාලය “ප්‍රමුඛතා ව්‍යාපෘතියක්” ලෙස 2024 දී කාබුල් පාලනය විසින් ප්‍රවර්ධනය කර තිබීම විශේෂත්වයකි.







