BREAKING NEWS
Search

ඒකත් ඉවරයි – නායකයෝ වෙන්න හැමෝම පොරකයි.!

320

 

ප්‍රබල ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මුල් කරගනිමින් සමගි ජන බලවේගය තුළ මන්ත්‍රීවරුන් අතර මතවාදී ගැටුමක් නිර්මාණය වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ගොඩනැගීමට යෝජිත නව සන්ධානයේ නායකත්වය සඳහා විවිධ මන්ත්‍රීවරුන් අතර විවිධාකාරයේ මත පළවෙමින් පවතින බවද වාර්තා වේ.

 

සමගි ජන බලවේගය පසුගිය මැතිවරණවලදී ලැබූ පරාජයට හේතු ගණනාවක් බලපෑ බවත්, පක්ෂය කඩිනමින් ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. පක්ෂයේ ඉහළ තනතුරු දරන ඇතැම් පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් දූෂණ චෝදනා එල්ල වූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්වීමේ වැදගත්කම සමගි ජන බලවේගයේ සහ ඒ හා සම්බන්ධ පාර්ශ්ව රැසකගේ පොදු මතය බවට පත්ව තිබේ.

 

මේ අතර, සමගි ජන බලවේගය සමඟ දැනට කටයුතු කරන දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම, පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් රැසක්ද මේ වනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පොදු විපක්ෂයක් ගොඩනැගිය යුතු බවට ඉල්ලීම් කරන තත්ත්වයක් උද්ගතව ඇත. විපක්ෂයේ ප්‍රබල සන්ධානයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ස්ථාපිත කළ යුතු බවට සජබ සමග එක්ව සිටින දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම අදහස් පළ කර තිබේ.

පෙරේදා (20) ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ හෝටලයක පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උළෙල, මෙම දේශපාලන කතිකාවතේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. එම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් ඇතුළු දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ. පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, මර්වින් සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස් වැනි හිටපු මන්ත්‍රීවරුන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් චාමර සම්පත් දසනායක මහතාද ඊට එක්ව සිටියහ.

 

එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගී වූ සජබ, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය, පිවිතුරු හෙළ උරුමය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයින්, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගත යුතු බවට ප්‍රසිද්ධියේම අදහස් පළ කිරීම විශේෂත්වයකි. මෙම පසුබිම යටතේ, සමගි ජන බලවේගය තුළ මෙතෙක් නිහඬව සිටි සාමාජිකයන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගීම සඳහා විවෘතවම කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!