BREAKING NEWS
Search

Update: ඉෂාරාව බයික් එකේ ගෙනගොස් හැංගූ උපස්ථායිකාව ෂාන්ව පාවා දෙයි

13200

පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට නීති පොතක් තුළ සඟවා ගිනි අවිය ලබා දුන් ඉෂාරා සෙව්වන්දි නමැත්තියට සහාය දීම සම්බන්ධයෙන් රෝහල් උපස්ථායිකාවක් කොළඹ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම උපස්ථායිකාව, ඝාතනයෙන් පසු නීතිඥවරියක ලෙස වෙස් වලාගෙන සිටි ඉෂාරා සෙව්වන්දිව අලුත්ගම ලංගම ඩිපෝව අසලින් යතුරු පැදියක නංවාගෙන වැලිපැන්න, හොලින්බෝන් වත්තේ පිහිටි සිය නිවසට රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

සැකකාරියගේ නිවසේ පෙබරවාරි 19 වැනිදා සිට 20 වැනිදා දහවල් වන තෙක් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලැබී තිබේ. පසුව එම උපස්ථායිකාව විසින්ම ඇයව යළි යතුරුපැදියෙන් රැගෙන විත් වැලිපැන්න නගරයෙන් බස්සවා ගොස් ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත. ඉෂාරා සෙව්වන්දි එම නිවසට පැමිණෙන විට නීතිඥ කබාය ඉවත් කර තිබූ බවත්, නිවසින් පිටව යෑමට පෙර ඇය උපස්ථායිකාවගේ දෙපා වැඳ ඇති බවත් වාර්තා වේ.

 

52 හැවිරිදි මෙම කාන්තාව කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කර පසුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සේවයට එක්වූවකි.

විදේශගතව සිටින “මතුගම ෂාන්” නමැත්තා තමා හොඳින් හඳුනන බවත්, ඔහුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව අලුත්ගම ඩිපෝව අසල සිටි තරුණිය නිවසට ගෙනැවිත් තබා ගන්නා ලෙසත්, පසුවදා ඇයව වැලිපැන්න නගරයට ඇරලවන ලෙසත් දැන්වූ බවත් සැකකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධියට අදාළව, අත්අඩංගුවට ගත් උපස්ථායිකාවගේ දියණිය විවාහ කරගෙන සිටින අලුත්ගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරු දැන සිටියදී එය උසස් නිලධාරීන්ට දැනුම් නොදීම හා තොරතුරු වසන් කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

සැකකාර උපස්ථායිකාව සහ ඇගේ බෑණනුවන් වන පොලිස් කොස්තාපල්වරයා පැය 72ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. මේ අතර, අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනියගේ උපදෙස් මත ඊයේ දිනයේදී පියවර ගෙන ඇත්තේ විනය පරීක්ෂණයකින් අනතුරුවය.

ඉෂාරා සෙව්වන්දිට අප්‍රේල් 13 සිට මැයි 6 දක්වා මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක නවාතැන් දුන් ‘කසුන්’ නමැත්තා පසුව ඇයව මෝටර් රථයකින් මාන්කුලම දක්වා රැගෙන ගොස් ඇති බවද හෙළිවී තිබේ. පාතාල නායක ‘හරක් කටා’ අධිකරණයට ගෙන ආ අවස්ථාවක ඝාතනයට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කසුන් නමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉෂාරාට නවාතැන් දීමේ චෝදනාව මත කසුන්ගේ බිරිය ද පෙරේදා (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

මේ අතර, ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සාමන්ත ද සිල්වා හෙවත් ‘නුගේගොඩ බබී’ (49) නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව, ඔහුගේ නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ නිවෙස ඉදිරිපිට දෙල් ගසක් යට වළ දමා තිබූ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ දහයක් බස්නාහිර දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය පෙරේදා සොයා ගත්තේය. ව්‍යාපාරිකයකු ද වන මොහු, ඩුබායිහි සැඟව සිටින ‘කුඩු සලිඳු’ ගෙන් එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් රටින් පලා ගිය බවත්, ඊට පෙර මෙම ආයුධ වළ දැමූ බවත් පොලිසියට පවසා ඇත.

ඉෂාරා සමග මෙරටට රැගෙන ආ ‘ගම්පහ බබී’ හෙවත් නිශාන්ත කුමාර නමැත්තාගෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, කෙළවරපිටිය අධිවේගී මාර්ග පිවිසුමේ 18 වැනි කණුව අසල සඟවා තිබූ ජීව උණ්ඩ දහයක් ද පෙරේදා සොයා ගැනීමට පොලිසිය සමත් විය.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *