BREAKING NEWS
Search

අල්ලගත්තුවා කුරක්කන් වුනු කාලේ ඉවරයි..! ‘ අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේදීම විනාශ කරන්න නීති හදන්න – ජනපතිගෙන් උපදෙස්

299

 

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන් ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය කැඳ වූ අවස්ථාවේදී ය.

ඒ, අද (නොවැ. 25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බව ත් ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙලක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බව ය.

එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනැගීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

මීට ප්‍රථම ලබා දුන් උපදෙස් අනුව මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ, දැනට සැලසුම් කර ඇති පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින රස පරීක්ෂක තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකිමේ ‘ඉවත් වෙනු- රටම එකට’ වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 06, 07 දෙදින තුළ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරිමටද සැලසුම් කර ඇත.

සියලු ම රාජ්‍ය ආයතන විෂ මත්ද්‍රව්‍යවලින් තොර බවට සහතිකයක් දීමට අදාළ පාලනය සමත් විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Source – Mawbima




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!