2026 ජනවාරි එනම් තව මාස දෙකකින් පසු පස් වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි වල පාසල් වේලාව පැය බාගයකින් දීර්ඝ කර පස්වරු 2 දක්වා පාසල් පැවැත්වීමට රජය තීරණය කර ඇති නමුත් ගුරු විදුහල්පති සංගම් ඒ ගැන විරෝධය පළ කරමින් සිටී. මෙම විරෝධය පසුපස ඇත්තේ පාසලින් පසු ගුරුවරුන්ගේ අතිරේක වැඩ හා පන්ති බව දෙමාපියන් චෝදනා කර තිබේ.
පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය, වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව සමග පැවති සාකච්ඡා වලින් අනතුරුව ගත් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන්නීය. යම් වෙනසක් සිදු කිරීමේදී ඊට විවිධ මතවාද ඉදිරිපත් වීම සාමාන්‍ය තත්ත්වයක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, වසර පුරාම වෘත්තීය සමිති, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සමග පැවති දීර්ඝ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම පැය භාගයේ වැඩි කිරීම සිදුකළ බවය. මීට සති දෙකකට පමණ පෙර අමාත්‍යාංශය මගින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, මෙය ක්‍රියාත්මක කරන ආකාරය දැක්වෙන ආදර්ශ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවත් ඇය සඳහන් කළාය. තවද, මෙම වෙනස බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීමට නොහැකි බවට විශාල විරෝධයක් පෙනෙන්නට නොමැති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
“අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා. සංවාද කරා. ඒ විතරක් නෙමෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා. ඒ හරහා තමා පැය භාගයක වැඩිකිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙනුත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම්ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දි විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධයක් පේන්න නෑ.”
කෙසේ නමුත්, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ කිසිදු කරුණු අධ්‍යයනයකින් තොරව ආණ්ඩුව මෙම කාලය දීර්ඝ කිරීමේ තීරණය ගෙන ඇති බවයි. අද (03) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා අවධාරණය කළේ, මෙම තීරණය ගැනීමට පාදක වූ කරුණු රජය විසින් හෙළිදරව් කළ යුතු බවය.
මේ අතර, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ, අදාළ තීරණය සම්බන්ධයෙන් පැවති කිසිදු සාකච්ඡාවකදී මෙතෙක් එකඟතාවක් පළ කර නොමැති බවයි.
gossip lanka news







