වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව

3900

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය නිල කාර්යාලය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම රට තුළ දැඩි කම්පනයක් ඇති කළේය. පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකුට මෙවන් ඉරණමක් අත්වීම පිළිබඳව මෙමගින් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය විය.

පසුගිය 22 වන දිනට යෙදී තිබූ මහජන දිනයේදී, ජනතා ගැටලු විමසමින් සිටි අවස්ථාවක මෙම අපරාධය සිදුවූ අතර, ගැටලුවක් ඉදිරිපත් කිරීමට පැමිණි අයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් හතරක් විවිධ කෝණවලින් පරීක්ෂණ දියත් කර ඇත. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමිණි කුමාර, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර සහ වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙතෙක් විමර්ශන මෙහෙයවා තිබේ.

 

 

ලිපි ගොනුවක් රැගෙන ප්‍රාදේශීය සභාවට පැමිණි වෙඩික්කරු සිය ඇඟිලි පහේම ප්ලාස්ටර් අලවාගෙන සිටි බව වාර්තා විය. වෙඩි තැබීමෙන් පසු ඔහු ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් පිටත රැඳී සිටි යතුරුපැදිකරුවෙකු සමග පළා ගොස් තිබිණි. පළාගිය මාර්ගයේ ආරක්ෂිත කැමරා දර්ශන මෙන්ම පෞද්ගලික ඔත්තුකරුවන්ගේ තොරතුරු ඔස්සේද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දීර්ඝ විමර්ශනයක් සිදු කළේය. එහිදී හෙළිවී ඇත්තේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් නමැත්තෙකු විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවටයි. අක්මීමන හියාරේ පදිංචි තාරක නමැති සැකකරුවෙකු ගැනද තොරතුරු ලැබුණද, පොලිසිය ඔහු පිළිබඳ වැඩිදුර සාක්ෂි රැස් කිරීමට කටයුතු කළේය.

සැකකරුවන් යතුරුපැදියෙන් පළා ගොස් ඇති ආකාරය, සෙසු අපරාධ හා සසඳන විට වඩාත් උපක්‍රමශීලී බව පොලිසිය පවසයි. පොලිසිය නොමග යැවීමේ අරමුණින් ඔවුන් මෙසේ සැලසුම් සහගතව ගමන් කර ඇත. කිලෝමීටරයක් පමණ ගොස් යතුරුපැදි දෙකකට මාරු වී ඇති ඔවුන්, ඉන් අනතුරුව යම් දුර පරතරයක් තබා ගනිමින් මාතරටත්, එතැනින් අකුරැස්සටත් ගමන් කර තිබේ. අකුරැස්සේ සිට යක්කලමුල්ලට පැමිණ, එහිදී නැවතත් එම යතුරුපැදි දෙක මාරු කර ඇති අතර, ඒවායේ අංක තහඩු ද ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙසේ මාර්ග කිහිපයක ගමන් කරමින්, අතරමගදී දෙපසකට වී නැවත එකතු වූ ඔවුන්, අවසානයේ ආරක්ෂිත කැමරා දර්ශනවලට හසු නොවන මාර්ගයක් ඔස්සේ අක්මීමන ප්‍රදේශයට ළඟා වී තිබේ.

විමර්ශන අතරතුර අනාවරණය වූ තොරතුරු මත අක්මීමන හියාරේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තීරණාත්මක තොරතුරු රැසක් හෙළි විය. ප්‍රධාන සැකකරු වන තාරක නමැත්තාගේ කුලී ගමන් නිරන්තරයෙන් යන මෙම රියැදුරු පවසා ඇත්තේ, ඝාතනයට පෙර දින (21) තාරක, ඔහුගේ බිරිඳ සහ තවත් අයෙකු සමග තමන් ගාල්ල නගරයට ගිය බවයි. එහිදී ඔවුන් සුදු පැහැ අත් දිග කමිස, සපත්තු, හෙල්මට් සහ වයිසර් මිලදී ගෙන ඇත. එදිනම සවස ගාල්ලේ වෙළෙඳසලකින් නව ජංගම දුරකථනයක් සහ සිම් පතක් මිලදී ගෙන, වට්ස්ඇප් ගිණුමක් සක්‍රීය කරගෙන ඇති බවත්, එය අපරාධය සඳහා භාවිත කරන්නට ඇතැයි පොලිසිය තහවුරු කරගෙන තිබේ.

 

 

අපරාධය සිදුවූ දින උදෑසන, ප්‍රධාන සැකකරු වන නුවන් තාරක තමන් සමග හියාරේ ප්‍රදේශයෙන් තරමක් දුරබැහැර පාලු ස්ථානයකට ගිය බව ත්‍රිරෝද රථ රියැදුරු වැඩිදුරටත් හෙළි කර ඇත. එම අවස්ථාවේ කලු පැහැ ටීෂර්ටයක් සහ කොට කලිසමක් ඇඳ සිටි සැකකරු අත කළු පැහැ බෑගයක් සහ හෙල්මටයක්ද වූ බවත්, මිතුරෙකු පැමිණෙන බව පවසා ඔහු එම ස්ථානයෙන් බැස ත්‍රිරෝද රථය පිටත් කර හැරි බවත් රියැදුරු පවසා තිබේ. ඊට පසුදින (23) ද තාරකගේ ඇමතුමක් මත ඔහුගේ නිවසට ගොස්, පසුව අක්මීමන අඟුළුගහ ප්‍රදේශයේ පාලු ස්ථානයක ත්‍රිරෝද රථය නවත්වා සිටියදී, වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු තාරකට කළු පැහැ බෑගයක් ලබා දී ගිය බවද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත.

මෙම කුලී ගමන් සඳහා රියැදුරුට රුපියල් 15,000 ක මුදලක් ලැබීමට නියමිතව තිබුණද, තාරක විසින් රුපියල් 5,000 නෝට්ටු හතරකින් රුපියල් 20,000 ක් ලබා දී ඇත. ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පාර්ශ්වය විසින් එවන ලද, ඝාතනය සඳහා පොරොන්දු වූ මුදල් එම බෑගයේ තිබෙන්නට ඇතැයි වැලිගම පොලිසිය සැක කරයි. පළාගොස් සිටි තාරක, ඔහුගේ බිරිඳ සහ ලහිරු නමැති අනෙක් සැකකරු අම්බලන්තොට උඩබැරගම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු පොලිසිය පෙරේදා (25) එම නිවස වැටලූ නමුත්, ඒ වනවිටත් ඔවුන් එතැනින් පළාගොස් තිබිණි.

සැකකරුවන් 23 වැනිදා රාත්‍රියේ මෙම නිවසට පැමිණ, 24 වැනිදා රාත්‍රියේ හෝ 25 වැනිදා අලුයම යතුරුපැදි දෙකකින් පිටව ගොස් ඇත. ඔවුන් සැඟව සිටි නිවසේ සිටියදී ප්‍රධාන සැකකරු සහ බිරිඳ අම්බලන්තොට නගරයට ගොස් බිරිඳගේ මවට රුපියල් 24,400 ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන ඇති අතර, එහිදී රුපියල් 5,000 නෝට්ටු මිටියකින් මුදල් ගෙවා ඇති බවද හෙළිවී තිබේ. එතැනින් මහියංගනය රිදීමාලියද්ද ප්‍රදේශයට පළාගිය ඔවුන් සොයා ගැනීම සඳහා, ප්‍රදේශයේ ඇති දුෂ්කරතාවය මත පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම පොලිස් විශේෂ කාර්යංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවාවේ ද තාක්ෂණික සහාය ඉල්ලා තිබිණි.

ඒ අනුව, සැකකරුවන් කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැඟව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යුද හමුදාවේ ද සහාය ඇතිව අත්හැර දමන ලද ඉඩමක පිහිටි නිවසක් වැටලූ අතර, එහිදී සැකකරුවන් පොලිසිය සමග පොරබැදීමක් ද ඇති කරගෙන තිබේ.

 

මෙම සිදුවීමේදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, එක් සැකකරුවෙකු පළා ගොස් ඇත. කෙසේ වෙතත්, සැකකාරියක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන නුවන් තාරකගේ බිරිඳ, අපරාධය සඳහා යතුරුපැදිය පැදවූ ලහිරු නමැත්තා සහ ඔවුන්ට කැකිරාවේ සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකි. වැටලීම අතරතුර පළා ගොස් තිබුණේ වෙඩික්කරු ලෙස හඳුනාගත් නුවන් තාරක නමැති ප්‍රධාන සැකකරුය. සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 12 ක මුදලක්, අපරාධයට භාවිත කළ එක් යතුරුපැදියක්, හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ කිහිපයක් ද පොලිසිය සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, වැටලීමෙන් පළා ගිය අපරාධයේ වෙඩික්කරු බව කියන නුවන් තාරක නමැත්තා ඊයේ රාත්‍රියේ මහරගම ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට අදාළව මේ වන විට සැකකාරියක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැලිගම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *