BREAKING NEWS
Search

අනතුරට මූලික හේතුව ටිපර් එකේ අධික වේගයයි – පාසැල් වේලාවේ යන ටිපර් තාමත් නවත්වා නෑ – බලධාරීන් බුදි..!

2792

 

කුලියාපිටිය, පල්ලෙවෙල පාලම මතදී ඊයේ (27) උදෑසන පාසල් සිසුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියන්

දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පාසල් සිසුන් දාහතර දෙනෙකු තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල සහ කොළඹ ජාතික රෝහල් වෙත මාරුකර යවා ඇත.

දුම්මලසූරිය දෙසින් කුලියාපිටිය නගරයේ ප්‍රධාන පාසල් කිහිපයකට සිසුන් රැගෙන යමින් තිබූ වෑන් රථය අනතුරට ලක්වන විට එහි සිසු සිසුවියන් 16 දෙනෙකු ගමන් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි. අනතුර සිදුව ඇත්තේ ඊයේ පෙරවරු 7.10ට පමණ වන අතර, අධික වේගයෙන් ටිපර් රථය ධාවනය කිරීම අනතුරට මූලික හේතුව වී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර,

ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුකර ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ 8 සහ 7 ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ මිහිදි යෙනායා නිල්බෙතු (13) සහ රිශිනි නෙතුපෙමා කුලරත්න (12) නැමති දැරියන් දෙදෙනා සහ වෑන් රථය පැදවූ ඩෙනිස් නිලන්ත අතුකෝරළ (67) නැමැත්තායි. මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) දින කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

මෙම ඛේදවාචකයත් සමග පාසල් කාලය තුළදී වැලි සහ පස් ප්‍රවාහනය කරන බර වාහන ගමනාගමනය සීමා කිරීමට ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. පාසල් වේලාවන්හිදී එවැනි අවදානම් සහිත වාහන සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් සූරියබණ්ඩාර මහතා සිද්ධිය වූ ස්ථානයේදී ප්‍රකාශ කළේය. මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වඩාත් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්.සී. වනසිංහ මහතා ද අවධාරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!