BREAKING NEWS
Search

කළු සල්ලි සුදු කළ ගන්දර කපුවා පාතාලයෙත් ගජයෙක්

550

වසර හතරක කාලයක් තුළ බැංකු ගිණුම් තුනක් හරහා රුපියල් කෝටි 33ක මුදලක් සංසරණය කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණේ යැයි කියන ගන්දර ප්‍රදේශයේ කපුවකු සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම සැකකාර කපුවා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත දන්වා සිටියේය.

 

 

 

සැකකාර ගන්දර කපුවා වන දිනේෂ් කුමාර නමැත්තා මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල සාමාජිකයකු බව කියන “ලොකු පැටී” හෙවත් ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වාට සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට ආධාර අනුබල දීමේ චෝදනාව මතය. ලොකු පැටී නමැත්තා පසුගිය මැයි 04 වැනිදා බෙලරූස් රාජ්‍යයේ සිට ආරක්ෂක අංශ විසින් මෙරටට රැගෙන ආ අයකු වන අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාරයේ සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කෙරිණි. අත්අඩංගුවේ පසුවූ දිනේෂ් කුමාර නමැති කපුවා රහස් පොලිසිය විසින් අධිකරණයට රැගෙන විත් තිබුණි. එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සැකකරුගේ දේපළ හා බැංකු ගිණුම් පිළිබඳව මෙන්ම, ඔහු සතු බව කියන බහුදින ධීවර යාත්‍රා හතරක් ගැනද විමර්ශන ක්‍රියාත්මක බවය.

 

ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටින පාතාල සාමාජිකයන් සමග මෙම සැකකරු සිදුකර ඇතැයි කියන මුදල් ගනුදෙනු ගැනද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

2020 සිට 2024 දක්වා කාලය තුළ සැකකාර කපුවාගේ ගිණුම්වල රුපියල් කෝටි 33ක් සංසරණය වී ඇති බවත්, එම මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ පවත්වන බවත් රහස් පොලිසිය කියා සිටියේය. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කර සිටියේ, පොලිසිය තම සේවාදායකයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළද, එම විමර්ශන මුදල් විශුද්ධිකරණ පනත යටතේද නැතහොත් වෙනත් පනතක් යටතේද යන්න පිළිබඳව නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවය.

දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා, සැකකරුවන්ට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලබන සිකුරාදා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය. එමෙන්ම සැකකරුවන් දෙදෙනා ලබන 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

 

gossip lanka news

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!