BREAKING NEWS
Search

මහ ඡන්දය දින රාත්‍රියේ එකට බීලා මිතුරා මරා දමා වැසිකිළි වළක සඟවලා… වසරකට පෙර සිදුවූ ඝාතනයක අබිරහසේ සුලමුල එළියට ආ හැටි… කිරිඳිවැලෙන් ඇහෙන ඇඟ කිළිපොලා යන කතාව…

2505
ගම්පහ, ඉඳුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මිතුරන් තිදෙනකු සමග එකට මත්පැන් බී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් අයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර නිවසේ වැසිකිළි වළේ සඟවා තිබියදී එහි සුලමුල හෙළි කරගැනීමෙන් පසු පෙරේදා එම සිරුර ගොඩගත් බව කිරිඳිවැල පොලිසිය පවසනවා.
මෙම ඝාතනය 2024 සැප්තැම්බර් 18 වැනිදා මහ මැතිවරණය දා රාත්‍රි සිදුව ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර මිතුරන් තිදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඝාතනයට ලක් වූ අයගේ සිරුර පූගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් අනුර සුමනසේන මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.

සිරුර ගොඩගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්රැස් වී සිටියහ.

වතුපිටිවල රජයේ රෝහලේ අධිකරණ වෛi නිලධාරි පී. ආර්. ඒ. රාජපක්ෂ, ගම්පහ අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන්, කිරිඳිවැල පොලිසියේ නිලධාරීන්, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා ඝාතනයට ලක් වූ අයගේ බිරිඳ ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් ගලවා ඉවත් කර මළසිරුර ගොඩට ගන්නා ලදී.

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ගම්පහ, වතුරුගම, ඉඳුරුගල්ල පදිංචිව සිටි පතිරැන්නැහැලාගේ සුනිල් නමැති 61 හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක්වූ අය වරාය අධිකාරියේ සේවය කර විශ්‍රාම ලබා සිටි අයකු බවත් ඔහු පෞද්ගලික ආයතන කීපයක සේවය කර ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.

ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මාතර ප්‍රදේශයේ ඇයගේ නිවසේ පදිංචිව සිට ඇත. ඝාතනයට ලක්වූ අය තම මව සමග ඉඳුරුගල්ල ග්‍රාමයේ පදිංචිව සිට ඇත. මවගේ අභාවයෙන් පසු ඔහු එම නිවසේ පදිංචිව සිට තිබේ.

ගත වූ කාලය තුළ ඔහුගේ හිතවතුන්ට මුදල් ලබාදීමේ කටයුතු සිදුකර ඇති අතර එම මුදල් ඔහු ආපසු ඉල්ලූවිට ආරවුල් පවා සිදුව ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සිදුවූ මහ මැතිවරණය දා ඔහු මිතුරන් තිදෙනකු සමග එකට රාත්‍රි මත්පැන් සාදයක් පවත්වා තිබේ.

එහිදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහරදී මරා වැසිකිළි වළට දමා ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පහ, වතුරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ත් 44ත් අතර වයසේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට පොල්ලකින් පහරදී පසුව වැසිකිළි වළට දැමූ බවට සැකකරුවන් පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

සැකකරුවන් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
Hiru Gossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!