ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පෙන්වා දෙන්නේ රටේ වියළි කලාපයේ ළාබාල තරුණියන් ආර්ථික දුෂ්කරතා මත වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතුව ඇති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකදී ආරාධිත දේශනයක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.
වියළි කලාපය තුළ නීතියට පටහැනි ලිංගික සබඳතා ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන සභාපතිවරිය,
පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක දත්ත උපුටා දැක්වූවාය. එම දත්ත වලට අනුව, ආර්ථික ගැටලු හමුවේ වයස අවුරුදු 14, 15 සහ 16 වැනි ළාබාල වයස්වල පසුවන දැරියන්, අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන වැඩිහිටි පිරිමින් සමග ජීවත්වීමට පෙළඹී ඇත.
මෙවැනි නීත්‍යානුකූල නොවන සහසම්බන්ධතා හරහා මෙලොවට බිහිවන දරුවන් වෙනුවෙන් උප්පැන්න සහතික ලබා ගැනීමේදී බරපතල ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ආචාර්ය පීරිස් අවධාරණය කළාය.
තත්ත්වයේ බරපතලකම පෙන්වා දීම සඳහා උදාහරණයක් ගෙන ආ ඇය, මවගේ වයස අවුරුදු 15ක් සහ පියාගේ වයස අවුරුදු 13ක් වූ ළාබාල විවාහයක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ බවද සඳහන් කළාය.
දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව අදාළ ළාබාල මවට නැවත සිය අධ්‍යාපන කටයුතු සඳහා පාසල් යාමට නොහැකි වන බවත්, ඉන් අනතුරුව ඇය සමාජය තුළ “අවලංගු කාසියක්” බවට පත්වන බවත් ආචාර්ය කලා පීරිස් වැඩිදුරටත් පැහැදිලි කළාය.
මීට අමතරව, කොළඹ නගරය තුළ පවත්වාගෙන යනු ලබන සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ‘ස්පා’ ආයතනවල සේවය නියුතු කාන්තාවන්ගෙන් බහුතරය උතුරු මැද සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන තරුණියන් සහ කාන්තාවන් බවද සභාපතිවරිය සිය දේශනයේදී අනාවරණය කළාය.







