වර්තමාන දේශපාලන තත්ත්වය තුළ රටේ ඉදිරි ගමන් මඟ කෙසේ සකස් විය යුතුද? අලුත් ආණ්ඩුවේ කාර්ය භාරය සහ විපක්ෂයේ හැසිරීම
පිළිබඳව මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
රට පසුගිය කාලයේදී මුහුණ දුන් ආර්ථික අර්බුදයට හේතු රැසක් තිබෙන බව ඔබ සඳහන් කරනවා. ඇත්තෙන්ම මේ ආර්ථික අර්බුදයට හේතු විදිහට ඔබ දකින්නේ කවරක්ද?
2009 දී යුද්ධය ජයග්‍රහණයත් සමඟ බොහෝ අය අපට ආර්ථික වශයෙන් ජයග්‍රාහී ඉලක්ක වෙත යාමට පුළුවන් කියන අදහසක සිටියේ. ඒත් ඒ ඉලක්කය වෙත යාමට හැකියාවක් ලැබුණේ නැහැ. අවසානයේ සිදු වුණේ 2022 වන විට රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්වීමයි. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? ඒකට හේතුව මොකක්ද? කියන කරුණ සලකා බැලීමක් නොකර අපට මේ අර්බුදයෙන් ගොඩයාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ණය අර්බුදය, ඩොලර් අර්බුදය සහ ජාත්‍යන්තර අර්බුදය වගේ කරුණු රාශියක් බලපෑවා.
ඒත් අප කවුරුත් ජාත්‍යන්තර අර්බුදය කියන කරුණ සලකා බැලීමක් සිදු කරන්නේ නැහැ. අප අද මුහුණ දෙන අර්බුදයට මේ සියලු කරුණු සම්බන්ධ වෙලා තිබෙනවා. ඩොලර් අර්බුදයක් ඇති වීම පිළිබඳව අපට සාධාරණව හේතු කියන්න පුළුවන්. එයට විවිධ කරුණු බලපාන්න ඇති. එහෙත් අපේ රටේ රුපියල් අර්බුදය ඇති වුණේ ඇයි කියන එක සාධාරණ ලෙසත් විචාරශීලීවත් බැලිය යුතුයි. අපේ රටේ රුපියල් හිඟයට හේතු වුණේ මොකක්ද කියලා සලකා බලද්දි තහවුරුවන කරුණක් තමයි රාජ්‍ය ආදායම පහළ යාම. රාජ්‍ය ආදායම අඩු කිරීමට හේතු මොනවාද කියා සලකා බලද්දී තහවුරු වෙන කරුණක් වන්නේ රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය අඩුවීමයි. 1977 වර්ෂය වෙද්දී බදු ආදායම් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ආණ්ඩුව වෙත අය වෙමින් තිබුණා. එහෙත් ඒ බදු ප්‍රමාණය බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ කාලය වන විට සියයට හයක් තරම් පහළ තැනකට වැටුණා. රුපියල් අර්බුදයට හේතුව වුණේ රාජ්‍ය ආදායම විදිහට අයවිය යුතු බදු මුදල් ප්‍රතිශතය ක්‍රමානුකුලව පහළ යාමයි.
එසේ බදු ආදායම පහළ ගියේ ඇයි, ඔබට ඒ ගැන අදහසක් තිබෙනවාද?
ඉහළ ආදායම් ලබන පිරිස පසුගිය අවුරුදු පනහ ඇතුළත වැඩි වුණා. ඒ තත්ත්වය හරිනම් බදු ආදායම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනෑ. ඒත් සිදුවෙලා තිබෙන්නෙ බදු ප්‍රමාණය පහළ යාමයි. 2022 වන විට ආදායම් බදු අයකිරීමේ ප්‍රතිශතය සැලකිය යුතු පහළ මට්ටමටකට වැටුණා.එයට හේතුව වුණේ විවිධ හිතවත්කම් මත බදු කපා හැරීම, හිතවතුන් බදු දැලින් ලිස්සා යාම සහ බදු සමා ලැබීමත් බදු අයකිරීමේ ප්‍රතිශතය පහළ දැමීම වැනි කරුණුයි. ඒ නිසා තමයි අප රටට 2022 දී රුපියල් හිඟයක් ඇති වුණේ.
ණය අර්බුදයට හේතු වුණේ විශාල ලෙස ණය ගැනීම යන කරුණයි. කලකට පෙර අප ණය ගනු ලැබුවේ තවත් රාජ්‍යයකින්. ඒ නිසා එදා ණය මුදල් නැවත ගෙවීමේදී යම් පහසුවක් තිබුණා. ඒත් පසුකාලීනව එම රටවල ආර්ථික තත්ත්වය තවත් ණය ලබා දීමට තරම් ශක්තිමත් වුණේ නැහැ. ඒ නිසා තුන්වන ලෝකයේ රටවලට ණය ලබා දීමට වෙනම පෞද්ගලික ආයතන බිහිවුණා. ස්වෛරී බැඳුම්කර සහ ණය මුදල් ලෙස හඳුන්වනු ලබන්නේ එම ණය මුදල්. ඒවායේ තිබුණේ අධික පොලී අනුපාත. ඒ තත්ත්වය තුළ තමයි අප වැනි රටවල් ණය අර්බුදයේ පැටළුණේ. ඒ නිසා අප මුහුණදුන් මේ තත්ත්වයන්ට මේ සියලු සාධක ඉතා නරක විදිහට බලපානු ලැබුවා.
ඒ වගේම 1970දී රුපියලකට ගෙවනු ලැබුවේ ආසන්න වශයෙන් රුපියල් හතක් වැනි මුදලක්. එය 1977 වර්ෂය වන විට රුපියල් විස්ස වුණා. ඉන්පසු දිගින් දිගටම ඉහළ ගිය ඩොලරය 2022 වන විට රුපියල් තුන්සියයද ඉක්මවා ගියා. මේ වගේ අර්බුදකාරී තත්ත්ය උග්‍ර වුණේ මේ ආකාරයටයි. අප මුහුණ දී සිටින අර්බුදයට හේතු පෙළගැසුණෙ මේ විදිහටයි.
ඔබ සඳහන් කළා ජාත්‍යන්තර සාධක පිළිබඳවද සලකා බැලිය යුතුයි කියලා. ඔබ සඳහන් කරනු ලබන ජාත්‍යන්තර සාධක මොනවාද?
2010න් පසු ලෝකය වෙනස් වුණා. ලෝකය ගෝලීය උතුර සහ ගෝලීය දකුණ ලෙස බෙදුනා. ගෝලීය උතුර කියන්නේ සාම්ප්‍රදායික බටහිර සහ අමෙරිකාව ඇතුළු රටවල්. ඔවුන් පෙර බලවත්ව සිටියත් අද වන විට බලවත් වෙමින් තිබෙන්නේ ගෝලීය දකුණයි. චීනය, ඉන්දියාව ඇතුළු රටවල් විශාල ලෙස ඉදිරියට එමින් තිබෙනවා. ඒ නිසා අප දැන් රටක් ලෙස සාම්ප්‍රදායික බටහිර සමඟ නොවෙයි ගෝලීය දකුණ සමඟ එක්ව යන ගමනකින් අපට රටක් විදිහට අලුත් හැරවුමක් ගන්න පුළුවන්.
ඒත් මේ යථාර්ථය අලුත් ආණ්ඩුව තේරුම් ගත් බවක් පෙනෙන්න නැහැ. වාමාංශික අදහස් මතවාද සහිත ආණ්ඩුවක් නම් මේ වෙනස් ගමනට අපත් රටක් විදිහට සූදානම් විය යුතුයි.
රට තුළ අලුත් ආණ්ඩුවක් පත්ව තිබෙනවා. මේ ආණ්ඩුව සහ අලුත් පාර්ලිමේන්තුව පිළිබඳව ඔබේ අදහස මොනවගේද?
මේ ආණ්ඩුව මැතිවරණයට පෙර කියූ දේවල් සිදු කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ අයත් කලින් ආණ්ඩු ගිය පාරේම යන්නේ. ඒ නිසා අලුත් වෙනසක් අවශ්‍ය නම් අලුත් ප්‍රතිපත්තියක් අනුව වැඩකළ යුතුයි. ඒත් ඒ මාර්ගයේ ආණ්ඩුව ගමන් කරන බවක් පෙනෙන්නට නැහැ.
ජනතාව මේ ආණ්ඩුව පිළිබඳව විශ්වාස කරලයි ඡන්දය ලබා දුන්නේ. ඒත් ඒ ජනතා විශ්වාසය අනුව ආණ්ඩුව වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. ආණ්ඩුවට නිවැරැදි වෙන්න තවමත් කාලය තිබෙනවා.
2027 වෙද්දි අප ආපසු ණය වාරික ගෙවන්න වෙන නිසා දැන්ම අලුත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා දැන්ම වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. ඒත් තවමත් එසේ වැඩපිළිවෙළක් ඇතිව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා ආණ්ඩුව ඉක්මනින් නව ප්‍රවේශයක් විවෘත කර ගන්න ඕනැ.
රට තුළ ආර්ථික අර්බුදයක් තිබුණ කාලයේදී පවා ඇතැම් සමාජ කණ්ඩායම් යහමින් මුදල් වියදම් කරමින් සිටිනවා. රටක් ආර්ථික වශයෙන් අර්බුදයක තියෙද්දි සමාජයේ සමහර කණ්ඩායම් වෙත ඒ අර්බුදය නොදැනීමට හේතුව කුමක්ද?
රටේ ආර්ථිකය අර්බුදයක තිබුණද රට ඇතුළේ කලු ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කලු ආර්ථිකය සහිත පිරිස් අතර කලු සල්ලි ගැවසෙනවා. ඒ පිරිස් නීතියට අනුව මුදල් සොයන්නන් නොවෙයි, විවිධ අයථා මාර්ගවලින් මත් ද්‍රව්‍ය විකිණීම වැනි ක්‍රමයි අනුගමනය කරනු ලබන්නේ. ඒත් මේ කලු ආර්ථිකයේ මහ මොළ සෙවීමට කිසිවකු උත්සාහ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මත්කුඩු බොන කෙනා , මත්කුඩු බෙදන කෙනා අල්ලනවා. ඒත් මත් කුඩු ගෙන්වන ප්‍රධාන ව්‍යාපාරිකයා අල්ලන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ඒ අය තමයි මේ කලු ආර්ථිකයේ මහ මොළකරුවන්. ඒත් ඒ ප්‍රධාන තැන් වහන්න කිසිවකු උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මේ අයථා ක්‍රමවලින් මුදල් සොයන මුදල් වියදම් කරන පිරිස් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කලු ආර්ථිකය වැසීමට කටයුතු කරන්න ඕනැ. මේ හිඩැස් කඩිනමින් වැසිය යුතුයි එහෙම කළොත් අපට මේ අයථා මාර්ග වසා දැමීමටත් රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
කොමියුනිස්ට් පක්ෂය සහ පැරැණි වමේ පක්ෂ අනාගත දේශපාලනය තුළ මොන විදිහේ භූමිකාවකටද පණ පොවන්නේ?
කොමියුනිස්ට් පක්ෂයට අද පාර්ලිමේන්තුව තුළ කිසිම ආසනයක් නැහැ. සමසමාජ පක්ෂයත් එහෙමයි. අප නැවත ප්රතිසංවිධානව සන්ධානගතව පසුගිය පළාත් පාලන ආයතන කිහිපයකට තරග කරනු ලැබුවා. එයින් සභික ධුර ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් වුණා. අපේ අරමුණ වෙලා තිබෙන්නේ නැවතත් දේශපාලනය තුළ ජනතාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමටයි. අප එදා සිටම ප්‍රතිපත්ති ගරුකව වැඩ කළ දේශපාලන පක්ෂ නිසා වරප්‍රසාද උදෙසා නොවෙයි, ප්රතිපත්තිවලටයි අපි මූලිකත්වය ලබා දෙන්නේ.
1977න් පස්සේ වමේ දේශපාලනය බිංදුවටම වැටුණා. අසූව දශකයේදී අපත් පාර්ලිමේන්තුවට පැමිණියා, ඒ වෙද්දී සමස්ත විපක්ෂය විදිහට සිටියේ මන්ත්‍රීවරු නව දෙනෙකු පමණයි. අප නවදෙනා ජේ.ආර්.ජයවර්ධනගේ හයෙන් පහේ ආණ්ඩුවට අභියෝග කළා. එපමණක් නොවෙයි අපට හැකියාව ලැබුණා ඒ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ හෙළිදරව් කිරීමට. ඒ නිසා මම විශ්වාස කරන්නේ සංඛ්‍යාත්මක බලයට වඩා ගුණාත්මක බලය වැඩි බවයි.
අද විපක්ෂයේ හැසිරීම සහ විපක්ෂයේ කාර්ය භාරය පිළිබඳව ඔබට දැනෙන්නේ මොකක්ද?
ඇත්තෙන්ම අද විපක්ෂය අරමුණක් නැතිව කෑ ගැසීම් විතරයි කරන්නේ. මෑත කාලීනව විපක්ෂය විපක්ෂයේ වැඩේ හරියට කළේ නැහැ. මම කලින් සඳහන් කළ විදිහට අසූව දශකයේදී මන්ත්‍රීවරු නව දෙනකුගේ විපක්ෂය විදිහට අපට එක්සත් ජාතික පක්ෂයේ තුනෙන් දෙකේ ආණ්ඩුව සලිත කිරීමට හැකියාව ලැබුණා. ඒ විතරක් නොවෙයි එදා ආණ්ඩු පක්ෂය පවා වැඩ කළේ අමුතු ක්රමයකටයි. අයවැය යෝජනා දිනයේදී රොනී ද මෙල් පැය ගණනක හරවත් දේශනයක් කරනවා. අද වෙද්දි ඒ තත්ත්වය නැහැ.
මගේ අදහස නම් පාර්ලිමේන්තුව තුළ කෑකෝගහල ශබ්ද නඟා කතා කිරීමෙන් විපක්ෂයට ශක්තියක් ගන්න බැහැ. අද විපක්ෂයට අසූව දශකයේ විපක්ෂය විදිහට වැඩ කළ අපෙන් ආදර්ශ ගන්න පුළුවන්. එදා අපිත් හැප්පුණේ අද වගේ විශාල බලයක් තිබෙන ආණ්ඩුවක් සමඟයි. ඒත් අද ඒ වගේ ශක්තිමත් මතවාදී අරගලයක නියැළෙන විපක්ෂයක් දක්නට නැහැ.
උදිත ගුණවර්ධන
Source – Dinamina







